Latestදේශීය

ජනාධිපතිවරණය දිනලා මහ ඡන්දයට ගිය ගමන් අපිට ඡන්ද ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ – අනුර දිසානායක

මෙතෙක් කලක් ආන්ඩු පත් කලත් හැදුනේ රට නොව පාලකයින් බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට වැටුනත් පාලකයින් හැදුන බවත් රටේ දරුවන්ට පාරවල් වැසුනත් පාලකයින්ගේ දරුවන්ට තිරය ඇරුනු බවත් දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා. මරදන්කඩවල ඊයේ(06) පැවති රට අනුරට ජන රැලිය අමතමින් ඔහු මේ අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

දැන් අපේ විරුද්ධවාදීන් සැලසුම් හදන්නේ ඒ ගොල්ලන්ගේ පරාජයෙන් ගැලවෙන්න. ඒ නිසා තමයි දැන් දෙගොල්ලෝ එකතු වෙන්න කතා කරන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒ ගොල්ලෝ විශාල භීතියකට පත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ කියනවා සජිත්ට ගහන කතිරය, අනුරට ගහන කතිරයක් කියලා. සජිත් ගාල්ලට ගිහිල්ලා කියනවා රනිල්ට ගහන කතිරය, අනුරට ගහන එකක් කියලා. අපි කියනවා, අපිට ඔය එක් එක්කෙනා හරහා කතිර එපා. 21 වැනිදා උදෙන්ම ගිහිල්ලා මාලිමාවට කෙලින් කතිරය ගහන්න. ඊයේ තැපැල් ඡන්දය තිබ්බා. රට හැම තැනින්ම එන ආරංචිය සුබයි. පොලීසියේ, හමුදාවේ, ගුරුවරු, කච්චේරිවල වැඩකරන අය ඩී.ඕ. මහත්වරු අපිට කතා කරලා කිවුවා දවල් එවපු කෙටි පණිවිඩ සියල්ලෙන්ම අපේ ජයග්‍රහණය තහවුරු කරලා හමාරයි. ජාතික ජන බලවේගයට ඉහළින්ම ජයග්‍රහණය අරන් දීලා තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතියි. දැන් ඉතිරි කොටස පැවරෙන්නේ ඔබට සහ අපිට. ඒ කොටස සම්පූර්ණ කරගන්න නම් ගම්වල ඡන්ද පෙට්ටි මාලිමාවට කතිරය ගහලා පුරවන්න ඕනෑ.

මෙච්චර කල් මේ රටේ ආණ්ඩු පත් කළාට හැදුනේ රට නොවෙයි. ඒ ගොල්ලෝ. රට වැටුණා; ඒ ගොල්ලෝ හැදුණා. රටේ දරුවන්ට පාර වැහුණා. ඒ ගොල්ලන්ගේ දරුවන්ට තිර ඇරියා. 21 වැනිදා ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. දිනුවට පස්සේ අපිටත් තිබෙනවා අත්හැරිය නොහැකි වගකීමක්. ඔබ අප ගැන තැබූ විශ්වාසය, බලාපොරොත්තුව එලෙසම ඉටු කිරීමේ වගකීම අප සතුවෙනවා. එය අපි අකුරටම ඉටුකරනවා. සැප්තැම්බර් 21 අපි ජයග්‍රහණය කළාට පසුව අපි කරන වැඩවලින් ටිකක් මම දැන් කියන්නම්.

ඉස්සෙල්ලම පාර්ලිමේන්තුව විසුරවනවා. ඊළඟට ව්‍යවස්ථාවට අනුව ඉතා හොඳින්, මහ ඡන්දය එන තුරු ඒ මාස 1 1/2 – 2 තුළ අපි රට පාලනය කරනවා. ජනාධිපතිවරණය දිනලා මහ ඡන්දයට ගිය ගමන් අපිට ඡන්ද ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ. එදාට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 150කට වඩා ගෙදර. මේ කතිරයෙන් පරදින්නේ රනිල් විතරක් නොවෙයි. එස්.එම්. චන්ද්‍රසේනලත් පරදිනවා. අපි 2/3ක බහුතරයකින් ආණ්ඩුවක් හදනවා. ඒක ස්ථිරයි. ඊට පස්සේ රජයේ ආයතනවලට ප්‍රධානීන් පත් කරනවා. මේ කතිරයෙන් දේශපාලනඥයින්ගේ දූ පුතුන්ට, ඥාතීන්ට දී තිබෙන අනවසර පත්වීම්ද අහෝසි වෙනවා. මේ සැප්තැම්බර් 21 ගහන කතිරය එතරම්ම බලවත් කතිරයක්.

දැන් ඉන්න ඇමති මණ්ඩලය දිහා බලන්නකෝ. පශු සම්පත් ඇමතියෙක් පැත්තක ඉන්නවා. ඊට අමතරව කිරි හරක් බලාගන්න ගව සම්පත් ඇමතියෙකුත් ඉන්නවා. වාරිමාර්ග ඇමතියෙක් ඉන්නවා. සුළු වාර්මාර්ග ඇමතියෙක් වෙනම ඉන්නවා. මහවැලි ඇමතියෙකුත් ඉන්නවා. පේනවනේ බෙදාගෙන කාපු විදිය. අපේ ආණ්ඩුව යටතේ මේ කෑලි කඩලා, දේශපාලන හිතවත්කමට බෙදාදී ඇති සියලු අමාත්‍යාංශ විද්‍යාත්මක ඒකාබද්ධ කිරීමකට ලක්කරලා, විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා. අපි බලයට ඇවිත් පළමු කැබිනට් මණ්ඩලය රැස්වෙලා තීන්දු කිහිපයක් ගන්නවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. මන්ත්‍රීවරුන්ට ලබාදෙන බාර් පර්මිට් අහෝසියි. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දෙන කාර් පර්මිට්ද අහෝසියි. ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල්, වතුර බිල්, ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැ. මැති ඇමතිලා පිටුපස ආණ්ඩුවේ වාහන හත අටක් යන්නේ නැත. කාර් එකේ දොර අරින්න පොලීසියේ මහත්තුරු දෙන්නේ නැත. හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසියි.

මේ ටික අපි නිසැක ලෙසම කරනවා. ඊට පස්සේ ජනතාවටත් වගකීමක් පැවරෙනවා. මේ රට ගොඩනැගීමේදී ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියා අපි, ඔබ එකතු වී වැඩකර පෙන්නමු. ලෝකයේ හැම රටකටම ගිය මිනිස්සු හිතන්නේ ඒ රටේ නතර වෙන්න. ඔන්න රට වට්ටලා තිබෙන තැන. මේ පාලකයෝ මේ රට බාල්දු කළා. ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිගන්නේ නැහැ. ඇමතිවරු, මන්ත්‍රීවරු මිනී මරලා වරදකරුවන් වෙලා, දඬුවම් ලබලා නැවත පාර්ලිමේන්තුවට එනවා. මොකක්ද මේ පාලකයෝ කරන්නේ. අපි මේ රට ලෝකය ඉදිරිපිට කීර්තිමත් රටක් ලෙස අලුතින් ගොඩනගනවා.
අපේ පාලනයක් යටතේ මේ රටේ නිෂ්පාදනයට නව පණක් දෙනවා. සංචාරක කර්මාන්තය සඳහා සමහර වර්ගවල හාල් ටිකක් පිටරටින් ගේන්න වෙයි. ඒ හැර එක හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ. මේ පාලකයන් කංකුනුත් පිටරටින් ගේනවා. අපි ඔබලාට කියනවා බය නැතුව කුඹුරට බහින්න. බය නැතිව හේනට යන්න. අපි ඊට අදාළ සහන ටික දෙන්නම්. ඉතාම දියුණු තත්වයේ බීජ අපේ රජයක් යටතේ ඔබට ලබා දෙනවා. වගා කළ හැකි, රජය සතුව පවතින ඉඩම් වගා කරන්න කැමති තරුණයන්ට ලබා දෙන්න අපි සූදානම්. හැබැයි ඒවා නිකම් තියන් ඉන්න බැහැ. දැන් රජය සතු ඉඩම් අක්කර දහස් ගණන් බෙදාගෙන ඉන්නෙ කවුද? මැති ඇමතිලා. මේ පාලකයන් අපේ වැව් පද්ධතිය විනාශ කළා. වැව් ඉස්මත්තෙ හෝටල් හැදුවා. ගෙවල් හැදුවා. වැව් ගොඩ කළා.

අපේ පාලනයක් යටතේ පොළොවට වැටෙන සියලු වර්ෂා ජලය නාස්ති නොකර ගබඩා කළ හැකි පරිදි අපේ වැව් පද්ධතිය නැවත ගොඩ නඟනවා. කන්න තුනක් වගා කිරීමට හැකිවන පරිදි අපි ඔබට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දෙනවා. පොහොර ටික, තෙල් ටික, සහනාධාර මිලකට ඔබට ලබා දෙන්න වැඩපිළිවෙළක් අපි හදනවා. අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙනවා. කිසිම කළුකඩකාරයෙකුට ගොවි ජනතාවගේ ගෙල මිරිකගෙන ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අස්වැන්න, ඵලදාව අපතේ නොයන අන්දමට, ඒවා ආරක්ෂිත ලෙස තබා ගැනීමට, ප්‍රවාහනය කිරීමට අපි වැඩපිළිවෙළක් හදනවා.

ලෝකයේ ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය මේ සියල්ල කර්මාන්ත. අපේ ගොවි ජනතාවගේ අස්වැන්නෙන් 38%ක් අපතේ යනවා. මේවා වෙන්නෙ මේ කිසිදු සැලැස්මක් නැති පාලකයන් නිසා. අස්වැන්න විකුණා ගන්න බැරිව ගොවියන් මොනතරම් රස්තියාදු වෙනවාද? අස්වැන්න ටිකක් කුණු කොල්ලයට විකුණලා ඉතුරු ටික කුණුවලවල්වලට දානවා. අලින්ට කන්න දානවා. අපි ගොවි ජනතාවගේ ඵලදාව ආරක්ෂිතව වෙළඳපලට යවන වැඩපිළිවෙළක් හදනවා. අපේ රටේ ගොවි ජනතාව විශාල ණය බරකින් මිරිකිලයි ඉන්නේ. අපි ඒ ණය බරින් මේ රටේ ගොවි ජනතාව මුදා ගන්නවා.

ලෝකයේ දියුණු රටවල දෙමව්පියන් පදිංචි මාරු කළාම, ඒ දරුවන්ට ඒ පදිංචියට ආසන්නයේම හොඳ පාසලක් ලබා දෙනවා. අපේ රටේ දෙමව්පියන් ළමයව හොඳ පාසලකට දාගන්න පදිංචිය වෙනස් කරනවා. අධ්‍යාපනය මව්පියන්ට, දරුවන්ට බරක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඉතා දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ දරුවන්ට අපි හඳුන්වලා දෙනවා. සෞඛ්‍යසම්පන්න ජනතාවක් සිටින රටක් අපි නිර්මාණය කරනවා. පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න පුළුවන් රටක් අපි ඔබට උරුම කර දෙනවා. නව පුනරුද යුගයකට මේ රට පරිවර්තනය කරා රැගෙන යනවා. 21 වැනිදාට ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. අපේ වගකිම අපි අකුරටම ඉටු කරන බවට සහතික වෙනවා.

මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 දා කතිරයෙන්ම උත්තර දෙමු
ප්‍රවීණ ගායක ක්‍රිශාන්ත එරන්දික

මේ වගේ දේශපාලන වේදිකාවක කථාකරන කොට මට ටිකක් බයක් දැනෙනවා. මොකද, මම දහස් ගණන් නරඹන වේදිකාවල ඕනෑ තරම් ගීත ගයලා තිබෙනවා. එතකොට කිසිම බයක් දැනෙන්නේ නැහැ. නමුත් අද කථා කරන්නේ දේශපාලන වේදිකාවක. මාලිමාවේ වේදිකාවේ. එනිසා අපෙන් පුංචි වචනයක් වැරදුණත් සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අය බලන් ඉන්නවා. අපිට මඩ ගහන්න. සමහර විට අපේ කථාවල එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන ඒවා විකෘති කරලා දානවා. අපිට විරුද්ධව එහෙම මඩ කෑල්ලක් දැම්ම ගමන් අපේ රටේ ජනතාව ඊට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. එහෙම වෙන්නෙ මාලිමාව ජයග්‍රහණය කරවන්න අපිට වඩා වුවමනාවක් ඔබට තිබෙන නිසා.

අපි ඉවසගෙන ඉඳලා මේ මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 වැනිදාට අපේ කතිරයෙන්ම උත්තර දෙමු. එදාට මේ රළු, ගොරෝසු මිනිසුන්ට ජයග්‍රාහී සිනහවකින් අපි උත්තර දෙමු. 21 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා අපි මාලිමාවට ඡන්දය දෙමු. එතකොට තමයි අපට විරුද්ධව මට අවලාද ගහන අයට හොඳටම රිදෙන්නේ. දැනට අවුරුදු 2 1/2කට පමණ ඉස්සර දවසක් මට අනුර සහෝදරයාගේ ලස්සන කතාවක් ඇහෙනවා. සමහර දේශපාලකයෝ කතාකරන දේවල්වල තිබෙන්නේ සද්දේ විතරයි. අගක් නැහැ, මුලක් නැහැ. මොනවා කියනවාද කියලා කියන කෙනාවත් දන්නේ නැහැ. දේශපාලන හරයක් නැහැ. ඒ වගේම රටට වුණේ මොකක්ද කියලා කියන්නේ නැහැ. නමුත් අනුර සහෝදරයාගේ කතා ඊට හාත්පසින්ම වෙනස්. ඒවා හරයාත්මකයි. අර අවුරුදු 2 1/2කට පෙර මට ඇහුණු අනුර සහෝදරයාගේ කතාවේ එක තැනක ඔහු මෙහෙම කියනවා. මේ රට හදන්න ආර්ථික, දේශපාලනික වැඩපිළිවෙළක් ඕනෑ. ඒකට අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෑ. එහෙම තමයි අපිට පුනරුද යගයක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම කියන ගමන් ඔහු කියනවා අපි මේ මොනවා කරන්නත් රට ඇතුළෙ සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ කියලා. මෙතුවක් කාලයකට ඒ වගේ කතාවක් මේ රටේ කිසිම දේශපාලකයෙක්ගෙන් මම අහලා නැහැ. රට ගොඩගැනීමට උරදෙන්න නම් රටට වැඩදායක මිනිහෙක් ඕන තමයි. නමුත් සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ ඇයි? මට අනුරගේ ඒ කතාව සංවේදීව හිතට දැනුණා. මේ සමාජය මෙතනට වට්ටපු මේ රට මෙතෙක් පාලනය කළ දේශපාලනඥයින් අපි තුළ හිටපු සංස්කෘතික මිනිසා ගලවලා විසි කරලා දැම්මා. අපේ සමාජයේ මිනිස්සුන්ට සතුට බෙදා ගන්න බැරිතැනට පත් කළා. තව මිනිහෙක්ගේ කරදරයකදී ඒ මනුස්සයාගේ දුක අපට බෙදා ගන්න බැරි වුණා. මේකට වගකියන්න ඕනැ පාලකයන්. අන්න ඒ නිසා තමයි, මේ රට මනුෂ්‍ය සමාජයක් ලෙස හදන්න නම් සංස්කෘතින මිනිසෙක් හදන්න ඕන කියලා අනුර සහෝදරයා කියන්නේ.

මම කියන ගීත ඔබ අහලා අහලා ඇති. මිනිහෙක් වුණාම ගීතයක් අහන්න ඕනැ; රස විඳින්න ඕනෑ; නවකතාවක් කෙටිකතාවක් කියවන්න ඕනැ, චිත්‍රපටයක් බලන්න ඕනැ. අඩුම තරමින් කෑම කන කොටවත් ගෙදර උදවිය එක්ක සතුටින් ගත කරන්න ඕනැ. එහෙම සමාජයක් මේ පාලකයො අපිට නැති කළා. අපිව හුදකලා මිනිස්සු බවට පත් කළා. අනුර සහෝදරයා ඒ නිසා තමයි කිවුවේ මේ රට හදන්න නම් රටට වැඩදායී සංස්කෘතික මිනිසෙක් ඕනැ කියලා. මේ රටේ දේශපාලනයත් මේ රටේ ආර්ථිකයත් ගොඩනඟන්නේ ඔහු තමයි. දුවේ පුතේ මටත් ඉන්නවා දුවලා දෙන්නෙක්. මගේ ලොකු දුව මේ අවුරුද්දෙ එයාගේ පළමු ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ අලුත් පරම්පරාව හිතන පතන විදිහ හරි වෙනස්. ඒ පරම්පරාවේ තරුණ තරුණියෝ පරාජය පළමුවෙන් බාර ගන්නේ නැහැ. මම මගේ ලොකු දුවගේ දේශපාලන වටපිටාව මම පොඩ්ඩක් හොයලා බැලුවා. එයාලා මිතුරු සමාජයක් හදාගෙන ඉන්නවා. මම ඇගේ ෆෝන් එකට ටිකක් එබිලා බැලුවා. මොනවද මේ කෙටි පණිවුඩ දිදී කතා කරන්නේ කියලා. බලනකොට ඇගේ මිතුරු සමාජයේ ඔක්කොම මාලිමාවට. මේ රටේ තරුණ ඡන්ද ආසන්න වශයෙන් ලක්ෂ 12ක් පමණ තිබෙනවා. ඉන් 95%ක් මාලිමාවට, අනුරට කියලා. ඒක ස්ථිරයි. 21 වැනිදා උදෙන්ම ගිහිල්ලා අපේ යුතුකම ඉටුකරමු. මාලිමාව ඉදිරියේ කතිරය ගසා අපේ අනුර සහෝදරයාව ජයග්‍රහණය කරවමු.

පරණ අගුපිල්වල තවත් රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වෙන්න
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ

ඡන්දෙට තිබෙන්නේ තවත් දවස් 14ක් පමණයි. අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට මේ ඡන්දය විශේෂයි. අපේ එකෙක් රටේ නායකයා වෙන්න යනවා. අනුරාධපුරේ අනුර, ඉහළින්ම ඔසවා තබන්න, කැකිරාවේ, මිහින්තලේ ආසන දෙකේ ජනතාව සූදානම්. අනුර සහෝදරයා නැවත ඔබ හමුවන්න එන්නේ 14වැනිදා. ඒ තමයි අනුරාධපුරයේ ජයග්‍රාහී අවසාන රැලිය. මේ ජනාධිපතිවරණයේ කසකාරයෝ පෙරහැර එන බව කියන්න ඊයේ, පෙරේදා පටන් ගත්තා. තැපැල් ඡන්ද ප්‍රතිඵල ගැන බුද්ධි අංශ වාර්තාවල කියනවා රට හැමතැනම අනුර ඉහළින්ම එකට ඉන්න බව. මේ පණිවිඩය අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන් ගම්වලට ගිහින් කියන්න. මීට කලින් විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කළ අය ඉන්නවා.

සමහර අයගේ පක්ෂ කාර්යාල දෙක තුනක් වහලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂ කාර්යාලයක් කනත්තෙත් දාලා තිබෙනවා. මට හිතෙන්නේ වික්‍රමසිංහ මහත්තයාට තව තිබෙන්නේ සති දෙකයි. ඉදිරි සති දෙක ඉවර වෙනකොට රටේ මිනිසුන්ගේ සිහිනය, ජනතාවගේ සැබෑ නායකයෙක් රජරටින් එනවා. ජනතාවගේ සැබෑ නායකයා අනුර කුමාර දිසානායක ජනපති වෙනවා කියන පණිවිඩය ගමට අරගෙන යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඉදිරි දවස් 14 ගම්බිම්වල ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට, අසල්වැසියන්ට මේ පණිවිඩය අරගෙන යන්න. තැපැල් ඡන්දේ පණිවිඩය ගමට ගෙනියන්න. මේ සමාජයම වෙනසක් වෙන්න සූදානම් වෙලා තිබෙන වෙලාවක, මුළු රටම එක පෙළට පෙළගැසෙන වෙලාවක, අවුරුදු 76ක දූෂිත දේශපාලනය අවසන් කරන්න පෙළගැසෙන වෙලාවක, ලෝකයේම මිනිස්සු රොද බැඳගෙන රටට එමින් තිබෙන වෙලාවක, පරණ වලව්වල, අගුපිල්වල රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වෙන්න. එළඹෙන 21 රට අනුර බාර දෙන්න පෙළගැසෙන ජයග්‍රාහී පෙරහැරේ කොටස්කරුවෙකු වෙන්න කියන පණිවිඩය ගමට අරන් යන්න.

14 වැනිදා උදේ සෑම ග්‍රාම සේවා වසමකින්ම, සල්ගාදු පිට්ටනියට එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ පණිවිඩයත් අරගෙන ගමට යන්න. හැම කෙනෙකුටම කියන්න. මුළු රටේම බලාපොරොත්තුව අපි හැමදාම සතුට සොයපු මිනිස්සු. ජීවිත කාලයම සතුට වෙනුවෙන් දුක් විඳපු මිනිස්සු. දරුවන්ගේ සතුට වෙනුවෙන් දවස් ගණන් නිදි මරපු මිනිස්සු. හේනෙ පැළේ, වෙළේ, දොළේ සතුට සොයපු මිනිස්සු. සතුට රැගෙන එන මහා දැවැන්ත පරිවර්තනයේ ආරම්භය ලබන 21දා. සමාජ පරිවර්තනයට මුල පුරන, ජනපති අනුරට රට බාර දෙන්න අවස්ථාව අපි හැමෝටම උදාවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් 14දා අනුරාධපුරේ සූදානම් කරන විජයග්‍රාහී රැලියට එකතු වෙන්න. අවසන් දවස වෙනකම් මහන්සි වෙමු. ගෙයක් ගෙයක් ගානේ යමු. ඥාතීන්ට හිතවතුන්ට කතා කරමු. 20 වැනිදා රෑ හොඳට නිදා ගනිමු. 21 උදේම නැගිටින්න. නැගිටපු නැති අය අවදි කරන්න. උදව් ඕන අයට උදව් වෙන්න. 21 ඡන්ද පොළට ගිහිල්ලා සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව, ඡන්ද පෙට්ටිය මාලිමාවෙන් පුරවලා නියත ජනාධිපති අනුර කුමාර දිසානායක බවට පත්කරන මෙහෙයුම සාර්ථක කරමු. ඒ වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ අපි මහන්සි වෙමු. අපේ කාර්යභාරයේ අවසාන හෝරාව එළඹිලා තිබෙනවා. අපේ ජීවිත කාලයේ බලාපොරොත්තුවේ අවසන් හෝරාවට ඇවිත් තිබෙනවා. මේ සති දෙකත් ඔබට වෙහෙස දැනෙයි. සතුට සොයපු මිනිස්සුන්ට, අපේ දරුවන්ට දෙන්න තිබෙන වඩාම හොඳ තෑග්ග, ජීවිතේ දරුවන්ට දෙන්න තිබෙන වටිනාම තැග්ග, මේ සමාජ පරිවර්තනයයි. මේ සමාජ පරිවර්තනය අත්පත් කර ගැනීම වෙනුවෙන්, ඉටුකර ගැනීම වෙනුවෙන් මේ සියලු දෙනාම එකට එකතු කරමු. රටම එක මිටට එකතු කරලා 21දා ‘රටම එකට, රට අනුරට’ බාර දෙමු. ඒ වෙනුවෙන් පෙළගැසෙමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *