Latestදේශීය

පුරවැසියාගේ රසාඥතාවය වැඩිදියුණු කිරීම අපේ පාලනයක වගකීමක් – අනුර දිසානායක

උසස් රසාඥතාවයෙන් යුත් දියුණු සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ මූළික වගකීමක් බව ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාවේ පසුගිය දා (08) පැවති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,

අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත් වී තිබෙනවා. කාන්තාවන්ට දැරිවියන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ වගකීම රජයක් ලෙස අපටත් එහි ක්‍රියාකාරී වැඩකොටස ඔබටත් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. සමාජයට යළි ආදරය, ලෙන්ගතුකම, සහකම්පනය කැටුව ආ යුතුයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයන් සිදු වීම අවශ්‍යයි. එයින් කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට පැවරෙන අතරම ඔබ නියැළෙන කලා ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔබේ නිදහස් පරිකල්පනයන් සමාජයට මුදා හැරීම සඳහා පහසුකම් සැලසීම අපි අපේ වගකීමක් ලෙස සලකනවා.

ඔබ මොන තරම් උසස් නිර්මාණයක් කළත් එය සමාජය වෙත ගෙන යාමට හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. පවුලේ අය සමග අන්තිමට චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න ශාලාවකට ගියේ කවද්ද කියලා ඔබ ගමකට ගිහින් අහලා බලන්න. සාතිශය බහුතරයකට එවැනි අත්දැකීමක් නැහැ. අලුතෙන් ආපු නවකතාවක් කියෙව්වද, අලුතෙන් පිටවුණු කවි පොතක කවියක් රසවින්දාද කියලා අහල බලන්න. ඒ කිසිවක් නැහැ. වියළුණු මිනිස් සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. රංග ශාලා, සිනමා ශාලා ක්‍රමයෙන් වසා දමමින් තිබෙන රටක් නිර්මාණය වී තිබෙනවා. මට මතකයි, මම පොඩි කාලේ පළමුවෙන්ම බලපු චිත්‍රපටය තමයි ‘චිං චිං නෝනා’. ඒක බැලුවේ අපේ පළාතෙ තඹුත්තේගම ඊගල් සිනමා ශාලාවේ. දැන් එම සිනමා ශාලාව වී ගබඩාවක්. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව දැන් සුපර් මාර්කට් එකක්. සමහර සිනමා ශාලාවල ටියුෂන් ක්ලාස් පවත්වනවා. මේවායින් පෙන්වන්නේ කුමක්ද? අපේ රට මේ ගමන් කරමින් සිටින දිසාව කුමක්ද යන්න නොවේද?

සිනමා ශාලා ඉතිරි වී තිබෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයයි. අනෙක් ඒවා වැසී ගිහින්. දැන් අපි අහනවා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ, කියන කථා. ඒත් අපි හරිම ආශාවෙන් ඉන්නවා සිනමා ශාලාවල පෝලිම් දකින්න. රංග ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකථා පොත් මිලදී ගැනීමට සෙනග ඉන්න පෝලිමක් දකින්න. අපි ආසයි එහෙම පෝලිම් දකින්න. එනිසා අපි අපේ පාලනයක් යටතේ කලාව නිසි පරිදි ඔසවා තබන්න පියවර ගන්නවා. අපි ආරම්භයේදීම විස්කම් පාන බවක් මම කියන්නේ නැහැ. යළි ජනතාව සිනමා ශාලාව වෙත කැඳවන, රංගන ශාලාව වෙත කැඳවන, යළි සාහිත්‍ය පොතපත කියවන තැනට කැඳවන, අපේ රටේ පුරවැසියාගේ රසඥතාවය වැඩිදියුණු කිරීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග අපේ පාලනයකදී අපි ගන්නවා.

අපේ රටේ ආර්ථිකය තිබෙන තැන අපි දන්නවා. එනිසා අද අපේ රටේ ජනතාවගෙන් ඉතා කුඩා කොටසක් පමණයි සිනමා, සාහිත්‍ය ආදී ක්ෂේත්‍රවල රස විඳින්න පෙළඹී තිබෙන්නේ. ඒ සඳහා හැකියාව තිබෙන්නෙ ඉතා සුළු පිරිසකටයි. සීමාසහිත වටපිටාවකට අපේ ජනතාව කොටු වෙලා. රූපවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යයක් සමාජ ජාලාවල විකාශනය කරන කුමන හෝ කලා අංශයක් පමණක් නරඹන තරමට අද ජනතාවගේ කලා රසවින්දනය සීමා වෙලා. රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට සමාජ ජාලාවල පුංචි වීඩියෝ ක්ලිප් එකකට එය ලඝු වී තිබෙනවා. අපි එතනින් එහා සජීවීකරණයකට මේ මිනිස් සමාජය කැඳවිය යුතුයි. හුදු හුදෙකලා පොතක් කියවීමක් නොවෙයි. හුදෙකලා චිත්‍රපටයක් බැලීමක් නොවෙයි. ඒ අත්දැකීම සමාජයත් එක්ක බෙදාහදා ගන්න, සමාජයත් එක්ක පුළුල් කතිකාවක යෙදෙන, සමාජීය වශයෙන් පෝෂණය වන, අත්දැකීම් එකිනෙකා අතර බෙදාහදා ගන්න සාහිත්‍යමය හා සංස්කෘතිමය සමාජයක් ශ්‍රී ලංකාවේ බිහිවිය යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයේ අපි ඉන්නවා.

අපි දන්නවා, තවදුරටත් සිනමාව, සාහිත්‍යය, සංගීතය කොදෙව්වලට සීමාවී තිබූ යුගය අද අවසන්. ඒ යුගය අයිති වෙන්නෙ මීට දශක හෝ සියවස් කිහිපයකට පෙර යුගයට. අද ලෝකය හා තාක්ෂණය හුවමාරු කරගෙන එකිනෙකා අත්විඳිනවා වගේම, සෞඛ්‍ය දියුණුවේ අත්දැකීම් උකහාගෙන එකිනෙකා පෝෂණය ලබනවා වගේම ලෝකයේ සංගීතයද සිනමාවද හුවමාරු කර ගනිමින් තිබෙනවා. අවාසනාවකට අපි ඉතා කුඩා කොදෙව්වකට සීමා වී සිටිනවා. ඒ නිසා අපේ රටේ සංගීතය, චිත්‍රපටය හා අනෙක් සංස්කෘතික නිර්මාණයන් අපෙන් එළියේ ලෝකයට ගෙනියන්නේ කෙසේද කියන එක අපි කල්පනා කර බැලිය යුතුයි. අපි ඒ ගැන මේ වන විටත් සාකච්ඡාවට බඳුන්කොට තිබෙනවා. අපිට වඩා ගව් ගණනක් පිටුපසින් සිටි, දකුණු කොරියාව ඔවුන්ටම ආවේණික වූ සංගීතයක් නිර්මාණය කර ගන්න සමත් වුණා. ඔබ යූටියුබ් එකට ගියොත් දකුණු කොරියාවේ බීටීඑස් සංගීත කණ්ඩායමේ වීඩියෝ දැනට මිලියන 1800ක් නරඹා තිබෙනවා. දකුණු කොරියාවේ ජනගහනය මිලියන 50යි. ඔවුන් සංගීතය තම රටෙන් ඔබ්බට ගෙනියන්න සමත්වෙලා තිබෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංගීතයක් නිර්මාණය කරගන්න සමත් වී තිබෙනවා. ඔබ ලෝකයේ ඕනෑම ගුවන්යානයකින් ගමන්කරන කොට එම යානයේ රූපවාහිනී තිරය මත කොරියන් චිත්‍රපට එකතුවක් දකින්න පුළුවන් වෙනවා. ඔවුන් තම රටෙන් ඔබ්බට යන සිනමාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලංකාව ගමනාන්තයක් කරගත් ගුවන් යානයක උපරිම චිත්‍රපට 4ක් ඇති.

දශක ගණනාවක් ලෝකයේ සංගීතයේ, සිනමාවේ, සාහිත්‍යයේ විශාල පරිවර්තනයන් හා විවෘත වීම් සිදුවෙමින් ආවත් අපි ඒ විවෘත වූ ලෝකය අත්පත් කර ගැනීමට අසමත් වූ ජාතියක්. ඒක තමයි ඇත්ත. අපි විටෙක අතීතකාමිත්වයේ, විටෙක අපිටම වූ සාධක මත හිරවුණු ජාතියක්. කුමන බාධක මධ්‍යයේ වුවද අද ඉරාන සිනමාව ලෝකයට කොපමණ ප්‍රවිෂ්ට වී තිබෙනවාද? අපිටත් දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉන්න බව අපි දන්නවා. විවිධ අවස්ථාවල ලෝකයේ ප්‍රධාන චිත්‍රපට ප්‍රදර්ශන උළෙලවල්වලදී විශාල ජයග්‍රහණ ලබපු චිත්‍රපට අධ්‍යක්ෂකවරු අපට ඉන්නවා. ඒත් අපට ලෝක සිනමාවෙන් පංගුවක් අත්පත් කර ගන්න නොහැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ලෝකයේ විවිධ විද්වතුන් ලෝකය ගමන් කරමින් සිටින්නේ කොහාටද කියලා පුරෝකථනය කර තිබුණා. එහිදී විශාල පදාසයක් සිනමා කලාව දිශාවටත් විවෘත වෙමින් තිබෙනවා. එය එසේ වුවත් එම අලුත් ලෝකයෙන් පංගුවක් අත්පත් කර ගැනීමට තවමත් අප අසමත් වී සිටිනවා.

මම ඔබට කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්. සංගීතය කර්මාන්තයක් ලෙස ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඩිජිටල් සංගීත වෙළඳපොළ 2024 වසරේ ඩොලර් බිලියන 24.5ක් උපයා තිබෙනවා. ඒ වගේම 2022දී ලෝක සිනමා සහ විනෝදාස්වාද වෙළඳපොළ ඩොලර් බිලියන 94ක් නිර්මාණය කර තිබෙනවා. 2031 වන විට එය ඩොලර් බිලියන 192ක් දක්වා වර්ධනය වන බවට පුරෝකථනය කර තිබෙනවා. වසරකට 7%ක වර්ධනයක් ඒ ක්ෂේත්‍රයේ පුරෝකථනය කර තිබෙනවා.

අපි එක් පැත්තකින් සමාජ ජීවිතය ගැන කල්පනා කරනවා වගේම අනෙක් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් ලෝකයේ මේ පුරෝකථනය කළ ක්ෂේත්‍රවලින් පංගුවක් අත්පත් කර ගැනීමට සැලසුම් කළ යුතුයි. 2031දී ඩොලර් බිලියන 192ක් නිර්මාණය වන ලෝකයේ අපි කොපමණ ප්‍රමාණයක් අල්ලා ගැනීමට සැලසුම් කළ යුතුද? අපි ඒකෙන් කුඩා බිඳුවක් හෝ අත්පත් කර ගත යුතුයි. ඒ පිළිබඳව අපි සැලසුම් ඉදිරිපත් කරනවා. විටක අපි ලෝක සිනමාව ගැන, ලෝක සාහිත්‍යය ගැන, ඒවායේ වර්ධනය ගැන කථා කරනවා. ඒත් අපි කඳුකරයේ ජීවත් වන කවියෙක් ගැන හෝ කවියක් ගැන අපි කථා කරනවාද? අපි හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව ගැන කථා කරනවා. ඒත් යාපනයේ දෙමළ සාහිත්‍යකරුවෙක් ගැන, දෙමළ නවකථාකරුවෙක් ගැන කථා කරනවාද? අපි ලෝකයේ බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ ගැන විචාරයේ යෙදෙනවා. නමුත් අපි දෙමළ සාහිත්‍යය ගැන හෝ සාහිත්‍යකරුවෙක් ගැන විචාරයේ යෙදී තිබෙනවාද? අපි මොනතරම් පටු හුදෙකලා තැනකද ජීවත්වෙන්නේ. ලෝකයට නොවෙයි අඩුම තරමේ කඳුකරයටවත් අපිට විවෘත වෙන්න නොහැකි වී තිබෙනවා. අපිට උතුරටවත් විවෘතවෙන්න නොහැකි වී තිබෙනවා. උතුර දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. කඳුකරය දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය. එනිසා අපි හිතනවා අපේ රටේ අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. අනන්‍ය වූ කලා ශිල්පයන් තිබෙනවා. අපේ අපේක්ෂාව වන්නේ, මේ සියල්ල කැටිකරගත් අනන්‍ය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කර ගැනීමයි.

අනෙකා නොතකා හරිමින් අනෙකාගේ අනන්‍යතාවයන් පහත් ලෙස සලකමින් අනෙකාගේ අනන්‍යතාවයන් සැහැල්ලුවට ගනිමින් ඉන්නවා පමණක් නොවෙයි සමහරවිට අපි හිතනවා අනෙකාගේ අනන්‍යතාවයන් අපිට සතුරුයි කියලා. දෙමළ කවිය සිංහලයට සතුරුයි කියල හිතනවා. සිංහල සංස්කෘතියට දෙමළ සංස්කෘතිය සතුරුයි කියල හිතනවා. අනෙකාගේ නිර්මාණයන් අගයන ඇසකින් නොවෙයි අපි ඒ දෙස බලන්නේ. සතුරු ඇසකින්. මෙවැනි සමාජයකට ඉදිරි ගමනක් තියේවිද? ඒනිසා අපගේ අපේක්ෂාව වන්නේ අනෙකාගේ අනන්‍යතාවයන් මුහුකරගත්තු එය දරාගැනීමට හැකි, ඊට ගරු කරන, එය රසවිඳිය හැකි නව සමාජය නිර්මාණය කිරීමයි.

මේ ක්ෂේත්‍රය පිළිබඳව මට වඩා විදග්ධයින් මෙතන ඉන්නවා. ඔවුන් දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ නව නිර්මාණයන් පිළිබඳව අරගල කරපු, ලියපු, විචාරය කරපු දෘෂ්ටිවාදයන් නිර්මාණය කරපු අයයි. එවැනි විශාල පිරිසක් අද මෙතන ඉන්නවා. මා මේ ක්ෂේත්‍රය පිළිබඳව විදග්ධයෙක් නොවෙයි. මා ඒ පිළිබඳව එළියෙන් සිට බලන්නෙක්. ඔබ මේ ක්ෂේත්‍රයේ ඇතුළේ ජීවත් වන කෙනෙක්. අරගලයක නිරත වූ සහ නව නිර්මාණයන් අත්හදා බලපු කෙනෙක්. ඒ තුළම අලුත් ලෝකයක් පරිකල්පනය කළ කෙනෙක්. ඒ නිසා මම ඔබට එක සහතිකයක් දෙනවා. ඔබට ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී යම් කුකුසක් පැකිළීමක් තිබුණේ නම් එය මුළුමනින්ම ඉවත් කරන සමාජයක් අපේ පාලනයක් යටතේ අප ගොඩනගනවා.

ඔබ මේ සමාජයේ ප්‍රගමනය බලාපොරොත්තුවෙන් විවිධ දේ ලිවුවා; කිවුවා; විවිධ නිර්මාණ කළා. එහෙත් ඒවා සාර්ථක කර ගන්න මේ ක්‍රමය යටතේ ඉඩකඩ විවෘත වුණේ නැහැ. ඔබගේ සිත තුළ කැකෑරෙමින් තිබුණ එම වුවමනාව, ඔබ ඔබගේ නිර්මාණ තුළ දුටුව නව ලෝකය නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහාය ලබාදීම අපේ වගකීමයි. ඔබ තව තව ලියන්න. නවකථා නිර්මාණය කරන්න. නිර්මාණකරනයේ යෙදෙන්න. අපි ඔබට සහය ලබා දෙන පාර්ශ්වකරුවෙකු වෙන්නම්. ඔබගේ පරිකල්පනයේ අරමුණ යථාර්ථයක් බවට පත්කළ හැකි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ ප්‍රයත්නය ජයග්‍රහණය කිරීම සඳහා අපි එක්ව පියාඹමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *