Latestදේශීය

මත් කුඩු උවදුර සම්පූර්ණයෙන්ම අවසන් කරනවා – අනුර දිසානායක

මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව සැප්තැම්බර් 21න් පසු පිහිටුවන බවත් කුඩුවලින් වැසී ඇති රට මුළුමනින්ම මුදාගැනීමට ජාතික ජන බලවේගය එළඹෙන 21යින් පසු කටයූත කරන බවත් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය දා (14) අනුරාධපුරයේ පැවති ජන රැලිය අමතමින් ඔහු මේ අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන විට අපේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව විසින් තමන්ගේ අතට අරගෙන තිබෙනවා. දැන් සජිත්ලා, රනිල්ලා මේ තත්වය තුළ හොඳටම කලබල වෙලා. අපිට එරෙහිව විවිධ මඩ, අවලාද අසත්‍ය තොරතුරු තොග ගණන් පතුරුවමින් ඉන්නවා. අපි ඒ අයට කියන්නේ දැන් පරක්කු වැඩියි කියලා. මේ ජයග්‍රහණය නතර කරන්න දැන් බැහැ. අපේ වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන එක. මම ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, ඔළුවිල්, සයින්දමරදු, සමන්තුරේ, නින්දවූර් යන ප්‍රදේශ ගණනාවක රැස්වීම් කළා. එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ රට වෙනස් කිරීම සඳහා අපි වටා පෙළගැසී සිටින හැටි අපි දැක්කා. ඒ නිසා ලංකාවේ පළමුවැනි වතාවට ඉතා සුවිශේෂී ආණ්ඩුවක් හැදෙන්න යන්නේ. ඒක මොන වගේ ආණ්ඩුවක්ද? මෙතෙක් කල් හැදුණේ අනෙකාට එරෙහි ආණ්ඩු. උතුරු නැගෙනහිර ජාතිකත්වයන්ට එරෙහි ආණ්ඩු. දේශපාලන වේදිකාවල කතා වුණේ ‘ජාතිය අනතුරේ. අන් ජාතිකත්වයන්වල ජනයා මහා ජාතිය ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ නිසා ජාතිය බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න’ කිවුවා. ආගම බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න කිවුවා. දැනුත් ඒ වර්ගයේ ඡන්දය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ඒ ගොල්ලෝ උත්සාහ කරනවා. රාජපක්ෂලා පට්ට් ගහලා, පට්ට ගහලා පිළුණු වෙච්ච ආගම්වාදී, ජාතිවාදී සටන් පාඨ දැන් කරේ තියන් යන්නේ සජිත්ලා. ඒ සටන් පාඨ රාජපක්ෂලාවත් විනාශ කරල දාපු සටන් පාඨ. ඒවා ලංකාවේ වමේ ව්‍යාපාරයට එරෙහි 1960 ගණන්වල ඉඳලා පට්ට ගහපුවා. දැන් ඒවා දැන් ඒවා දිරච්ච සටන් පාඨ, ඒ නිසා මම සජිත් ප්‍රේමදාසට කියන්නේ අලුත් බඩු ටිකක් සොයා ගන්න, කියලා. ඔය පරණ බඩු කඩේ බඩු ගේන්නේ නැතිව.

මේ රටේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් හදන්න යනවා, උතුරු, නැගෙනහිර, දකුණ සියලු පළාත්වන ජනතාවගේ විශ්වාසය දිනාගත්ත. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත ආණ්ඩුවක්. මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමට තිබූ ඓතිහාසික අවස්ථා මේ රටේ පාලකයන් අතහැරලා දැම්මා. සුද්දගේ පාලනය යටතේත් අපේ රට පාලනය කළේ ජාතීන් අතර ගැටුම් නිර්මාණය වන පරිදි එකිනෙකා බෙදලා. 1818 අරගලයේදී සුද්දට එරෙහිව අපේ රටේ ජනතාව එකට එකතු කරගන්න බැරි වුණා. 1848දීත් එයම සිදුවුණා. 1919දී සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ එකතුවෙලා ලංකා ජාතික සංගමය ගොඩ නැගුවා. ඉතා ටික කාලයකදී එය කැඩී බිඳී ගියා. 1928 බණ්ඩාරනායකලා වෙනම සිංහල මහා සභාව හදන්න පටන් ගත්තා. දෙමළ කොංග්‍රසය වෙනම හැදෙන්න පටන් ගත්තා. මුවර් සංගමය වෙනම හැදුණා. සතුරාට එරෙහිව එකට එකතුවී සටන් කරනවා වෙනුවට, බෙදෙන්නට පටන් ගත්තා. ඒ ඒ සන්ධානවල නායකයෝ හොරෙන් හොරෙන් ගිහිල්ලා ගතු කියලා එක එක වරදාන ඉල්ලන්න පටන් ගත්තා. ජාතිය බෙදුණා. 1948 නිදහස ලබා ගන්න විටත් තත්වය ඒකයි. ඉන්දියාව නිදහස ලබන විට ඒ රටේ වමේ දකුණේ සියලුම නායකයන් එකට එකතු වෙලා ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන්නා. අපි නිදහස ලබන කොටත් බෙදිලා. නිදහසෙන් පස්සෙත් අපිව බෙදුවා. 1948 නිදහස ලබනවා. 1949 පුරවැසි පනත සම්මත කරනවා. ඒ පනත ගෙනැල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1930 ගණන්වල උතුරේ ශක්තිමත් දෙමළ තරුණ ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් අර්ධ නිදහස එපා කියලා සම්පූර්ණ ස්වෛරීත්වය ඉල්ලලා සටන් කළා. යාපනයේ තරුණ ව්‍යාපාරය විශාල කාර්යභාරයක් කළා. අපේ රටට නිදහස ලබා ගැනීම සඳහා. නමුත් බලය ගත්ත අපේ පාලකයෝ බලය සඳහාම අපිව බෙදුවා.

රටේ නිදහස පතා අරගල කළ දෙමළ තරුණයෝ 1949 ගෙනා පුරවැසි පනත නිසා දෙමළ රාජ්‍ය පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදාගන්නවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. 1956 වෙනකොට භාෂා ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. 1958 වෙනකොට ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගන්නවා. නැවත සිංහල, දෙමළ, මුස්ලිම් කෝලහලයක් පටන් ගන්නවා. 1965 ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාළි යන්න පටන් ගන්නනවා. නැවත 1972දී දෙමළ එක්සත් පෙරමුණ හදනවා. 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදනවා. දෙමළ පක්ෂ ඔක්කෝම එකට එකතු වෙලා වඩුක්කොඩෙයි සම්මේලනය තියලා වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලනවා. 1978 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. මිනිස්සු මර්දනය කිරීම අරඹනවා. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී එදා යාපනයට ගිය රනිල්ලා, ගාමිණී දිසානායකලා, ජේ.ආර්.ලා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑවා. යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. නැවත ගැටුම් නිර්මාණය කළා. 1983 නැවත කළු ජුලිය නිර්මාණය කළා. රට පුරා කඩසාප්පු, සිනමා ශාලා, ගිනිබත් කළා. අපිව බෙදුවා, වෙන්කළා. එකිනෙකා කුලල් කාගන්න රටක් බවට මේ රට පත් කළා. 1984 වන විට ප්‍රභාකරන් මරා ගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් පටන් ගන්නනවා. ම්ලේච්ඡ මිනිස් ඝාතන පටන් ගන්නවා. රට මහ ව්‍යසනයකට ගොදුරු කළා. 2009 යුද්ධ අවසන් වුණා. ටික දවසයි ගියේ ඡන්දය කිට්ටු වන විට වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ඉන්නවා කියන්න පටන් ගත්තා. පාස්තු ප්‍රහාරය දියත් කළා. ජනතාව බෙදුවා. ඒක නොවෙයිද වුණේ.

සුද්දත් අපිව බෙදුවා. කළු සුද්දත් අපිව බෙදුවා. ඒ නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි හැමදෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවෙන් හිටියා. අපේ පාලකයෝ ඒකට අවස්ථාව දුන්නේ නැහැ. අපිව බෙදුවා. කුලල්කාගන්න තත්වයට පත් කළා. යුද්ධ ඇති කළා. උතුරත්, දකුණත් විනාශ කළා. මේ පාලකයන් දැන් අපිට පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි සියලු දෙනාම එකට බැඳිලා එක කොඩියක් සෙවනේ ඉන්න ජාතික සමගිය පුබුදුවන ආණ්ඩුව නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.

සජිත් ප්‍රේමදාසලා පරණ ආගම්වාදී, ජාතිවාදී කිළිටි ඇඳුම් හෝදන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය අවසන් කරන්න ඕනැ. අපි හැම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව අපි සැප්තැම්බර් 21න් පසු පිහිටුවනවා. අනුරාධපුරය අපේ ශිෂ්ටාචාරයේ නගරය. අද කුඩුවලින් වැහිලා. කුඩු මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වෙලා. මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතුයි. මේ සියලු ව්‍යසනයන් පිටුපස ඉන්නේ මේ පාලකයන්. දේශපාලකයන්ගේ ආශිර්වාදය නැතිව. මේ සාපරාධී ජාවාරම්වලට පවතින්න බැහැ. අපි සහතික වෙනවා මේ සියලු ව්‍යසනයන්ගෙන් ජාතික ජන බලවේගය පාලනයක් තුළ මේ රට මුළුමනින්ම මුදාගන්නවා. දැන් මුළු රටම සැප්තැම්බර් 21 වැනිදා වෙනකල් බලා ඉන්නේ අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන්න. අපි සියලු දෙනා එකතු වෙලා ඉන්පසු මේ රට ගොඩනගමු.

මේ රටට ඇත්තටම ආදරය කරන සහෝදරත්වයෙන් බැඳුණු පිරිසක් අනුර වටා ඉන්නවා
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි

මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළාම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්. ඔබ මෙතනට පැමිණ සිටින්නේ මේ රට ගොඩනගන එකම නායකයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විශ්වාසය තබා ඔහුට ඔබේ ශක්තිය එකතු කිරීමටයි. රට නව යුගයකට පරිවර්තනය කරන ඒ විප්ලවය හෙට දවසේ ඔබේ කතිරයෙන් කරන බව අපිට හොඳටම විශ්වාසයි. දැන්නම් අනුර සහෝදරයා දිනන එක කාටවත් වළක්වන්න බැහැ.

පසුගිය දවසක මගේ වැඩකට මම රත්නපුරය ප්‍රදේශයට ගියා, එහිදී පතල් කම්කරු සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු සමග මම ටිකක් කතා කළා. මම ඔහුගෙන් ඇහැව්වා කොහොමද දැන් දේශපාලන තත්වය කියලා. ඔහු ටිකක් නිහඬව හිටියා. ඒ පාර මම ඔහුට කිවුවා මේ පාර අපි වෙනසක් කළේ නැත්නම් අපි ඔක්කෝම අන්ත දුක්ඛිත තත්වයකට පත්වෙනවා කියලා. ඔව්, මමත් මගේ තීරණය අරගෙන තිබෙන්නේ කියලා ඔහු කිවුවා. මම ඇහැව්වා ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒ තීරණය ඔබට ගන්න හිතුණේ ඇයි කියලා. ඔහු කිව්වා “මම විශ්‍රාමික ගුරුවරයෙක්. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැතිනම්, මාලිමාවට ඡන්ද තුන හතරක් හදලා දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට ඉඩම් අක්කර දෙක තුනක් අරන් දුන්නා වගේ ආයෝජනයක් කියලා.” ඒ කතාවේ හරය තිබෙන්නේ අනුර කුමාර සහෝදරයා අපේ රටේ දරුවන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන බවට තිබෙන විශ්වාසයයි.

මේ පාර සැබෑ වෙනසක් වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුණොත් අපිට යන එන මං නැතිවෙනවා, ඒක තදින්ම අවධාරණය කළ යුතුයි. සමහරු කියනවා මාලිමාවේ අයට බලය අරන් මේ රට කරන්න පුළුවන්ද කියලා. මම අහන්නේ මෙච්චරයි. මේ තාක් කළේ මේ රට කරපු එවුන් හරියට කළාද? හරි දෙයක් කළාද? කියලා. මට එකයි ඉල්ලන්න තිබෙන්නේ. අර විශ්‍රාමික ගුරුවරයාගේ කතාව ඔබට මුණ ගැසෙන හැමෝටම කියන්න. ඔබ දැන් මෙතනට ඇවිල්ලා ඔබේ ශක්තිය පෙන්වනවා. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදාට උදාවෙන තීරණාත්මක මොහොතේ අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න, සැක සහිතව හිතන, බොරු දේශපාලන කතා අහලා ෆේස් බුක් එකේ යන සමහර ව්‍යාජ කතන්දර අහලා චකිතයෙන් ඉන්න අයත් විශ්වාසය ඇති කරලා ඒ ඡන්ද ප්‍රමාණයත් මාලිමාව වෙතට හැරවිය යුතුයි. එයයි ඔබේ වගකීම. එසේ කළොත් හැරෙන්න ඔබට වෙන්නේ ඔබේ දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වෙන, කන්න බොන්න නැතිවෙන, තරුණ තරුණියන්ට තමන්ට නිසි රක්ෂාවක් හොයා ගන්න බැරිවෙන, ඒ වගේම රක්ෂා කරන අයටත් තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ගන්න බැරි, ජනතාවම දුකේ වැටෙන, ලෙඩකට බෙහෙතක් ගන්න බැරි, මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දිගටම ගලාගෙන යන එකයි.

සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින්ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනඟන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. අපි හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ. මේ වැඩ කරන්න පුළුවන්ද? කියා. ඔය පුළුවන් කිය කියා ඉන්න අය පුළුවන් කියලා කියනවා විතරනේ. කවදාවත් කරලා පෙන්නුවේ නැහැනේ. අපි ඒ වාද බයිලා පැත්තකින් තියලා සැබෑ යථාර්ථයට මුහුණ දීලා රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න, ඉතාමත් සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න රටට හිතෛෂී, බුද්ධිමත් පිරිසක් සමග අපි මේ ගමන යමු. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ 21 වැනිදාට ජයග්‍රහණය කර ජනාධිපති වෙනවා. එය සත්‍යයයි. ස්ථිරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *