Latestදේශීය

මනමාලියක් වන්නට සිහින දුටු යුවතිය ත්‍රී රෝදරථයට යටවී ජීවිතක්ෂයට පත්වෙයි

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් ඇලෑවේල ප්‍රදේශයෙදි පසුගිය දා (14) සවස 1.40ට පමණ අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපභෝගි මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි විසි හතර හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ සිව්දෙනකු සිට ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා ඇති බවත් විසි හතර හැවිරිදි තරුණිය මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ප්‍ර‍තිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද 12 කණුව ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. හිමන්ෂි සෙව්වන්දි 24 හැවිරිදි අවිවාහක තරුණියකි.

මෙම තරුණිය විවාහ වීම සඳහා අද (16) මනාලයකු නි‍වසට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ අවස්ථාව සඳහා කළමනා රැගෙන ඒම සඳහා තම පියා මව සහ නැඟණිය සමඟ මහියංගණය නගරයට ගොස් නැවත නි‍වස වෙත පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් තිදෙනාගේ තත්ත්වය ඉතා බරපතළ බවත් 15 හැවිරිදි දැරියක් බදුල්ල මහා රෝහලට මාරුකර යවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ සුඛෝපභෝගී මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනකු ගමන් කර ඇති අතර මහියංගණ නගරයේ සිට අධික වේගයකින් එය බදුල්ල දෙසට ගමන් කර ඇති අතර රියැදුරුට වාහනයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ අයිනේ නතරකර තිබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගැටී ඇතැයි වාර්තා වෙයි.

එහිදී ත්‍රිරෝද රථය ඉදිරියේ තිබූ පොල් ගසක මීටර් 3ක් පමණ උස කඳ කොටසේ වැදී මීටර් 10ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් විසිවී ගොස් සිටි බවත් මෙම මෝටර් රථය දින කිහිපයක් මහියංගණය නගරය පුරා අධික වේගයෙන් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

මෙම මෝටර් රථය ප්‍රභූවරයකුට අයත් මෝටර් රථයක් බවත් අනතුර සිදුවීමත් සමඟ තවත් මෝටර් රථයකින් පැමිණි හිමිනමක් අනතුර සිදු කළ පුද්ගලයින් රැගෙන ගිය බව ප්‍රදේශවාසිහු පවසති. මේ දිනවල මහියංගණය රාජ මහා විහාරයේ ඇසළ පෙරහර පවතින බැවින් පෙරහර සඳහා පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම රථයේ සිට ඇති බවට ද ඔවුහු සඳහන් කරති.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

මෙම මෝටර් රථය මහියංගණ රජමහා විහාරයේ පෙරහර සඳහා උදව් උපකාර කිරීමට පැමිණි නිලමේවරයකුට අයත් බවත් එම නිලමේවරයාගේ පුතාද මෙම අනතුර සිදුවන විට මෝටර් රථයේ ගමන් කර ඇති අතර මෙම සිද්ධිය සමථයකට පත් කිරීමට මහියංගණය රාජමහා විහාරයේ භාරකාර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් පොලිසියට නිරන්තරයෙන් පැමි‍ණ ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, මහියංගණ සහකාර පොලිස් අධිකාරි පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *