Latestදේශීය

ජනතාව සියවස් ගණනාවක් දුටු සිහිනය අපි සැබෑ කරනවා – අනුර දිසානායක

සැප්තැම්බර් 21 තබන්නේ දිගු පියවර ගණනාවක ආරම්භයක් බවත්, ඡන්දපොළට ගිහින් මාලිමාව ඉදිරියේ කතිරය සටහන් කර ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂයට ඡන්දය දුන් අයට නිය තුඩකින්වත් හානියක් වෙන්න නොදිය යුතු බවත්, දේශපාලන සංස්කෘතියේ වෙනස පෙන්විය යුතු බවත්, ඡන්දය දක්වා අපි බෙදිලා හිටියත් ඡන්දයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා ඒ සියලු දෙනා එකතු කර ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජනහමුව අමතමින් ඔහු මෙම අදහස් පල කළා. එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

අද ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. ඡන්දය සෙනසුරාදා. නියත වශයෙන්ම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. අපේ රටේ ජනතාව අලුත් පරිවර්තනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳිමින්, යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමින් සිටියා. නමුත්, අපට අවසන් ජයග්‍රහණය ඒ දශක ගණනාව පුරා ලබා ගන්න නොහැකි වුණා. සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ඒ ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන්. අපේ පැරැණි පරම්පරාව, මුතුන්මිත්තෝ මේ පීඩිතභාවයෙන් මිදෙන්න අසාධාරණය වෙනුවට සාධාරණ සමාජයක්, අයුක්තිය වෙනුවට යුක්තිගරුක සමාජයක්, අශිෂ්ටත්වය වෙනුවට ශිෂ්ටත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් උත්සාහ දැරුවා. ඒ උත්සාහයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ලැබෙන බව සහතිකයි. එම ජයග්‍රහණයේ දී අප විසින් සැලසුම් සකස් කිරීම, වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ හැකි පිරිස හඳුනා ගැනීම, සමාජයට මතය ගෙන යාම සඳහා කතා කිරීම වැනි කටයුතු කළත්, මේ ජයග්‍රහණයේ විශාලතම වැඩ කොටස කළේ ඔබ සියලු දෙනායි. අවුරුදු කිහිපයක් කොට්ඨාස සභා පිහිටුවමින්, කාන්තා සභා පිහිටුවමින්, ගෙයින් ගෙට යමින් විශාල වෙහෙසක් දරලා මේ ප්‍රතිඵලය අත්පත් කර ගත්තා. මෙයට පෙර දේශපාලනඥයන් ඡන්දය ගැන ඇඟිලි ගැන්නත්, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව ඇඟිලි ගනිමින් මේ ඡන්දය දෙස බලා සිටිනවා.

ජාතික ජන බලවේගය වටා මේ නැඟිටීම වෛරී ප්‍රකාශනයක් බව සමහර අය කියනවා. අනෙක් පක්‍ෂ කෙරෙහි වෛරය, කෝපය ඇති වූ ජනතාව අප වටා එක් වීම ආරම්භය වෙන්න පුළුවන්. හැබැයි, අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ අනාගතය කෙරෙහි අපේක්‍ෂාසහගත පරිවර්තනයකට ලක් වූ ජනතාවක්. ජාතික ජන බලවේගය වටා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී වී සිටින්නේ අනාගතය පිළිබඳව සුබ සිහිනයක් අපේක්‍ෂාවෙන්. දිගු පියවරක ආරම්භය වන්නේ ඒ වෙනුවෙන් තබන පළමු පියවරයි. සැප්තැම්බර් 21 තබන්නේ දිගු පියවර ගණනාවක ආරම්භයයි. ආරම්භයේ දීම අපේ වෙනස්කම් අපි තහවුරු කොට පෙන්වන්න ඕනෑ. ඡන්දපොළට ගිහින් මාලිමාව ඉදිරියේ කතිරය සටහන් කර ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂයට ඡන්දය දුන් අයට නිය තුඩකින්වත් හානියක් වෙන්න දෙන්න එපා. අපේ දේශපාලන සංස්කෘතියේ වෙනස අපි පෙන්වන්න ඕනෑ. ඡන්දය දක්වා අපි බෙදිලා ඉන්න පුළුවන්. ඡන්දයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා ඒ සියලු දෙනා එකතු කර ගන්න ඕනෑ. ඡන්ද ගැටුමක් ඇති කර ගන්න අනෙකුත් පාර්ශ්වයන් උත්සාහ කරනවා නම්, ඔබ කිසිසේත්ම එයට දායක වෙන්න එපා. පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරී තිබෙන රාජකාරී සීමාව ඇතුළේ එවැනි ගැටුම් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, පාලකයන් ජනතාවට වඩා උඩින්, නීතියට වඩා උඩින් ඉන්න තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර දේශපාලන අධිකාරිය නීතියට යටින් තබන තත්වයක් ඇති කරනවා. පුරවැසියා හා සමානව එකපෙළට ඉඳගත හැකි නව දේශපාලන සංස්කෘතියක් පියවරෙන් පියවර අපි සකස් කරනවා.

ඒ වාගේම අපේ රටේ කිසිදු තැනක කිසිදු විටෙක ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාදී, ආගම්වාදී මතවාද ලංකාවේ තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජාතික සහ ආගමික සමගියේ මතවාද පමණයි. අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතා හොඳින් ඒ ආදර්ශය ලබා දී තිබෙනවා. අපේ මැතිවරණ වේදිකාවේ ජාතිවාදී, ආගම්වාදී වාගේම අනෙකාගේ සංස්කෘතිය හෙළාදැකීමේ සටන් පාඨ අපි යොදා ගත්තේ නැහැ. නමුත්, කනගාටුවෙන් හරි කියන්න ඕනෑ සජිත් ප්‍රේමදාසගේ මුළු කඳවුරම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා මතවාද පැතිරවූවා. අපි ආවාම පෙරහැර නතර කරනවා, හාමුදුරුවන් වහන්සේලාට දානය නැති වෙලා යනවා, ජාතික කොඩිය වෙනස් කෙරෙනවා, නිරාගමික රටක් හැදෙනවා ආදී වශයෙන් ඉතාමත් කැත විදියට අවලාද නඟන්නට පටන් ගත්තා. සංස්කෘතිකමය වශයෙන් පවතින ඇදහිලි සහ ගෞරවයට පත් වූ සංවේදී වූ තැන් ඔවුන් යොදා ගත්තා. හාමුදුරුවන් වහන්සේලාට දානය පිරිනමන්නේ ශ්‍රී ලංකා. යූඑන්පී, ජේවීපි කියලා බෙදීම් හදාගෙනද? ඒවා අපේ ජාතියේ, සංස්කෘතියේ උරුමයන්. ශිෂ්ටාචාරයේ වැදගත් ස්ථාන. හැබැයි, රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඒවා ඉතාමත්ම කැත ලෙස තමන්ගේ දේශපාලන වේදිකාවේ යොදා ගත්තා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව ළඟට ගිහින්, හජ්ජි, රාමසාන් උත්සව දෙකක් පවත්වන්න ඉඩ නොදී එකකට සීමා කරන බව කීවා. පස් වරක් වන්දනාමාන කරන ජනතාවට දිනකට එක් වරක් වන්දනාමාන කරන්න දෙන බව කීවා. රැවුල වවන්න දෙන්නේ නැහැ කිවුවා. කවදාවත් දේශපාලන වේදිකාවකට නොගත යුතු දේවල් ඔවුන් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී සටන් පාඨ සජිත් ප්‍රේමදාසලාගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම දියත් කරන්නට පටන් ගත්තා.

එක අතකින් මම පුදුම වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසට මේ රටේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ගැඹුරු සංකල්ප පිළිබඳව අදහසක්වත් නැහැ. මඩ සහ අසත්‍ය ප්‍රකාශ කිරීම තමයි, ඔහුගේ දේශපාලනය. අලි ප්‍රශ්නය තිබෙන දිහාවලට ගිහින් අලි මන්තරය පාඩම් කරවා විසඳුම් දෙන බව ගැඹුරු දැක්මක් තිබෙන කෙනෙක් නම්, කියනවා ද? ගැඹුරු චින්තනයක් තිබෙනවා නම්, රටේ හැම පාසලකටම විදේශීය කෝටිපතියන් සම්බන්ධ කරවන බව කියනවා ද? කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟීම පිළිබඳ අදහසක් වෙනුවට බොත්තමක් එබුවාම සියල්ල කෙරෙන බව කියනවාද? අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම මූලයන්, වර්ධනය වුණු ආකාරය, විසඳුම් සෙවීම පිළිබඳව හාංකවිසියක්වත් නැහැ. ජාතිවාදය, ආගම්වාදය, අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාව අපේ දේශපාලනයට යොදා නොගැනීම මේ යුගයේ විශිෂ්ටතම දේශපාලන ආදර්ශයයි. එය ලබා දුන්නේ ජාතික ජන බලවේගයෙන් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි උතුරට ගිහින් මේ කතාව ඒ විදියටම කියනවා. නැඟෙනහිරත් ඒ විදියටම කියනවා. දකුණට ඇවිත්, ඒ විදියට ම කියනවා. එය ඒ ආකාරයෙන් කිව හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ආරම්භයේදී අපට ජයග්‍රහණය දකුණෙන් විතරක් හිමි වේවි දැයි යම් සැකයක් තිබුණා. දකුණෙන් පමණක් ලබන ජයග්‍රහණ අපේ අනාගත දේශපාලන ඉලක්ක ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැහැ. පසුගියදා අපි නැඟෙනහිර පළාතේ නගර ගණනාවක ජන හමු පැවැත්වූවා. ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මේ හා සමානවම අපට ඇහුම්කන් දෙන්න ඇවිත් හිටියා. යාපනයට ගිහින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අපි හමුවුණා. ඔවුන් සඳහන් කරන්නේ උතුරේ ජනතාවගෙන් විශාල පිරිසක් ජාතික ජන බලවේගය කෙරෙහි ප්‍රසාදයකින් සිටින බවයි. උතුර නියෝජනය කරන මන්ත්‍රීවරයකුගෙන් මම තැපැල් ඡන්දය අපට කොහොම ද කියලා ඇහුවා. ඔහු සඳහන් කළේ මුල දී සියයට 10ක් පමණ තිබේ යැයි කියා කල්පනා කළත්, දැන් එය සියයට 40 ඉක්මවා ගොස් ඇතැයි අනුමාන කරන බවයි.

උතුර, දකුණ වෙන් වෙලා කළ දේශපාලනයත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙන් වෙලා කළ දේශපාලනයත් එකට එකතු කරන්න ජාතික ජන බලවේගය අද සමත් වී සිටිනවා. ඒ වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ආගම් අදහන ජනතාව එකතු කරන ලද දේශපාලනයකට සමත් වී සිටිනවා. ඒ නිසා අපි ඡන්දයෙන් ජයග්‍රහණය කරන්න පෙර සිටම අපි ඒ සම්බන්ධයෙන් රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් හිමි කර දී තිබෙනවා. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාව කිසිදු ජාතිකත්ව හෝ ආගමික බෙදීමකින් තොරව රැකබලා ගැනීම අපේ වගකීමක්. කෙටි කාලයක් වෙනුවෙන් ජීවත් වීම අසීරුම ජනතාවට රුපියල් 10,000 සිට රුපියල් 17,500ක් දක්වා දීමනාවක් ලබා දෙනවා. ආසියාවේ වැඩිම අපේ විදුලි බිල, අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. සෞඛ්‍යය, ආහාර, අධ්‍යාපනය සඳහා ඇතුළු කර තිබෙන බදු මුළුමනින්ම නිදහස් කරනවා. ආර්ථිකය පිළිබඳ ගැඹුරු පරිවර්තනයන්ට යන්න කලින් ජනතාව වෙනුවෙන් මෙම සුබසාධන කටයුතු සිදු කරනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස, ආහාර පුරවැසියන් සම්බන්ධයෙන් ලබා දීම රජයකට අත්හැරිය නොහැකි වගකීමක්. කෙටි කාලයක් ඇතුළත මඟී ප්‍රවාහනයෙන් 70%ක් යළි පොදු ප්‍රවාහනයට කැඳවීම අපේ අපේක්‍ෂාවයි. පඩිය මුළුමනින්ම වැය කර ලීිසිං ගෙවා වාහනයක් ගැනීම වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා. ඒ වාගේම නිරෝගීසම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ස්ථාපනය කරනවා. පවුලේ වෛද්‍යවරයාගේ සිට ඉන් ඉදිරියට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා යා හැකි මඟපෙන්වීමක් ලබා දෙන සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපනය කරනවා. ඒ වාගේම දෙමවුපියන්ටත් බර, දරුවන්ටත් බර මේ අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් මුළුමනින්ම නිදහස් කර රජයේ වගකීමක් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. එය පරිවර්තනයක් නොවෙයිද?

ලබන 21 වැනිදා සිදු කරන්නේ හුදෙක් පාලකයෙක් ඉවත් කර තව කෙනෙක් පත් කර ගැනීම නොවෙයි. මේ සිද්ධ කරන්න යන්නේ සියවස් ගණනක් අප දුටු සිහිනයක් ඉටු කිරීමයි. මෙයට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කිරීමේ යුග පෙරළියයි මේ සිදු කරන්නේ. නිෂ්පාදනයට පණ දිය හැකි සියලුම තැන් හඳුනාගෙන යළි පණ දෙමින්, පුනරුද යුගයක් ඇති කරනවා. ඒ වෙනුවෙන් ගොවියා, ධීවරයා, කම්කරුවා, තරුණයා පමණක් නොවෙයි, රාජ්‍ය සේවකයන් වාගේම පොලිසියේ මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක අංශවල අයත් තම තමන්ගේ ක්‍ෂේත්‍රවල නව හැඟීමකින් ඉලක්කසහගතව ක්‍රියාත්මක කරනවා. අපි සිදු කරන්නේ පතුලටම ඇදවැටුණු රටක් ගොඩගැනීමයි. ඒ යන ගමනේ දී රනිල් වික්‍රමසිංහ කියනවා, ජාතික ජන බලවේගය ආවාම ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි කියලා. ඔහු ඒ නිධිවල අයිතිකාරයාද? ඇත්ත කතාව ගත්තොත්, ඒ සියලු පෝලිම් නිර්මාණය කිරීමේ මූලිකයා රනිල් වික්‍රමසිංහයි. ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නා. ඇත්ත කතාව ඒක. 2022 අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරිව පොල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය ගෙවාගත නොහැකි වීම නිසයි. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ගන්න සල්ලි නැතිව ගියා. අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහයි. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩවත්, ගුණාත්මකවත්, හිඟයකින් තොරව ලබා දීමටත් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ. ඩොලර් හිඟයක් රටට නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහ අද කියනවා, අපි ආවාම ඩොලරය රුපියල් 400ට නඟිනවා කියලා. නමුත්, ඒ තත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහලා. හේන්, කුඹුරු පුරන් වුණා. රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය කංකුන්, ලුණු, මුංඇට, උඳු, කව්පි, කුරක්කන්, බිත්තර, බීජ වර්ග, ඖෂධ වර්ග හැම දේම පිටරටින් ගෙන ඒමයි. සියලු නිෂ්පාදන බිඳවට්ටා, කාන්තාවන් රට යැවීම එකම විදේශ විනිමය මාර්ගය බවට පත් කර ගත්තා. කාන්තාවන් රට යැවීම ඩොලර් උල්පත බවට පත් කර ගත්තා. ඩොලර් හිඟ වෙන කොට තිබෙන ඒවා විකුණාගෙන, ඩොලර් ණයට ගත්තා. ආර්ථිකය කඩාවැටුණේ එහෙමයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ තත්වය අනෙක් පැත්ත හරවා ඩොලර් එළියට යන එක වළක්වා ඩොලර් ගලාගෙන ඒම වර්ධනය කර ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. 1977 පාර්ලිමේන්තුවට ඇවිත්, මේ රට හපයක් බවට පත් කර මේ දක්වා විවිධ ධුර දරමින්, ඔහු තවමත් රැඳී ඉන්නවා. මහින්ද රාජපක්‍ෂලා පාර්ලිමේන්තුවට ඇවිත්, අවුරුදු පණහකටත් වැඩියි. මේ රට හපයක් බවට පත් කරලා, පැරැණි ගෝත්‍රිකවාදී, අසාර්ථක රාජ්‍යයක් බවට පත් කර ගත් පාලකයන්ගෙන් මේ රට 21 වැනිදා නිදහස් කර ගන්නවා. ගෝඨාභය අසරණයා මේ රට අනාථ කර දැම්මා. ලැජ්ජාශීලීත්වයට පත් වුණේ 69 ලක්‍ෂයක් ජනතාවයි. 2015 රනිල් – මෛත්‍රී හයිබි්‍රඩ් ආණ්ඩුවක් හදන්න ජනතාව ලක්‍ෂ ගණනින් ඡන්දය ලබා දී අසරණභාවයට පත් වුණා. මේ සියලු තත්වයන් වෙනස් කරන්න 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ලබා දුන් බව දශක ගණනාවකට පස්සේ වුවත්, ආඩම්බරයෙන් කිව හැකි තත්වයකට මේ රට පරිවර්තනය කරනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය දශමයකින්වත් කඩ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සියවස් ගණනක් මඟහැරුණු ජයග්‍රහණය ලබා ගන්න අත්නොහැර එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

රට හැදිය හැකි වැඩපිළිවෙළක් ඇති, අවංක මිනිසුන් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණයි
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ මැතිවරණ කාලය පුරාම පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ මහත්වරුන් මහජන සාමය ආරක්‍ෂා කරන්න රාජකාරියෙන් ඔබ්බට ගිය විශේෂ මැදිහත් වීමක් කළ බව ඒ අයට ගෞරවයෙන් සඳහන් කරන්න ඕනෑ. ජනාධිපතිවරණය අවසන් වී නව ගමන යන්න මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හැර දරුවන්ගේ උසස් පෙළ විභාගයට කලින් මහා මැතිවරණය පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගෙන නැවුම් රටක, අලුත් ගමනක් යනවා. ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය ආරක්‍ෂා කරන්න ඔබ හිතුවාටත් වඩා අපි හැම දෙනාම ඇපකැප වන බව සහතික වෙනවා. ප්‍රචාරක කටයුතු සිදු කළ කාලය තුළ ජාතික ජන බලවේගයේ ආසන්නයටවත් එන්න වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයකට හැකි වුණේ නැහැ. සජිත් කියන්නේ මොන තරම් කොන්ද පණ නැති බියගුල්ලෙක් ද කියන එක සජිත් ඊයේ දවසේත් ඔප්පු කළා. අපේ අනුර සහෝදරයා අනුරාධපුරයේ රැස්වීමක් කරලා, කුරුණෑගල රැස්වීම් තුනක් කරලා, මීරිගම රැස්වීමකුත් කරලා ‘සිරස’ රූපවාහිනියේ වැඩසටහනට ගියා. මේ සියලු රූපවාහිනී නාලිකාවලින් තමන්ගේ ප්‍රතිපත්ති කියන්න අවස්ථාව ලබා දුන්නා. ඒක රූපවාහිනී විවාදයක් නොවෙයි. සජිත් අනුර සහෝදරයාට බය වන එක සාධාරණයි. මැයි මාසයේ විවාදයෙන් පැනලා ගියෙත් ඒක නේ. අපේ අනුර සහෝදරයා කොළ කෑල්ලක් අතේ නැතිව අවශ්‍ය කරුණු නිවැරැදිව කතා කර කරුණු ඉදිරිපත් කිරීම ගැන බය වීම පිළිගත වුවත්, ‘දෙරණේ’ මාධ්‍යවේදී කලිඳුට බය වන්නේ ඇයි? 21 වැනිදායින් පස්සේ මාස තුන, හතරක් යන තුරු සජිත් ප්‍රේමදාසව හොයා ගන්නත් නැති වන බව මතක තබා ගන්න.

ඒ නිසා තමයි, චම්පික රණවක එතැනට රිංගලා, සජබයේ නායකත්වය ගන්න බලාගෙන ඉන්නේ. සජිත් කියනවා, එයාත් එක්ක ටීම් එකක් ඉන්නවාලු. ඩලස් අලහප්පෙරුම එක්කෙනෙක්. මාස කිහිපයකට පෙර සජිත් ගැන ඩලස් කී දේ මොනවා ද? සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම, කුකුළු කූඩු වාගේ ගෙවල් සෑදීම වාගේ දේවල් දත්ත සහිතව හෙළි කළා. චම්පික රණවක සජිත්ට කීවේ, ‘ලාමක ටිං ටිං’ කියලා. ඒ ටීම් එකේ කිරිඇල්ල, හකීම්, රිෂාඩ් කෝ? ඒ ගොල්ලෝ හංගලා, වෙන කීප දෙනෙක් දාගෙන ඉන්නවා. රනිල් මහ බැංකුව කඩන කොට අත උස්සපු ටීම් එකේ වැඩි හරියක් සජිත් ළඟ. මේ රට ණය උගුලක හිර කරන්න අත උස්සපු ටීම් එකේ වැඩි හරියක් ඉන්නේ එතැන. මේ රට හදන්න පුළුවන්, දැක්මක් තිබෙන, වැඩපිළිවෙළක් තිබෙන, අවංක මිනිස්සු ඉන්න එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. අපේ සංවර්ධන සහ පර්යේෂණ ප්‍රතිපත්තිය හදන්න දායක වුණු ගෝමික උඩුගමසූරිය ඇමෙරිකාවේ හුස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සම්බන්ධ ප්‍රධානියා. පේටන්ට් බලපත්‍ර 10කට වැඩි සංඛ්‍යාවක හිමිකරුවෙක්. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හදන්න මූලික වශයෙන් ඔහු දායක වුණා. ඔහු කළුතර ප්‍රදේශයේ ජීවත් වූ මේ ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය ලැබූ ලෝකය පිළිගත් විශිෂ්ටයෙක්. ඒ වැනි සිය දහස් ගණනක් ජාතික ජන බලවේගය සමඟ එක් වී රට ගොඩනඟන්න ඉදිරිපත් වී සිටිනවා. මේ තත්වයට දේශපාලනිකව මුහුණ දිය නොහැකිව ජනතාව තුළ භාණ්ඩ හිඟය, ආගම් ගැන බොරු ප්‍රචාර ගෙන යමින්, බියවද්දන්න හදන බොරු ප්‍රචාරවලට එරෙහිව ජනතාවට කරුණු කියා දීම ඉදිරි දවස් දෙක තුන තුළ ඔබ සියලු දෙනාට භාරයි. මේ රටේ පටු, තුච්ඡ, නින්දිත දේශපාලනය කරන්න දෙන්න බැහැ. මේ රට විනාශ කළ හැම දෙනා ම එකට තියලා පරද්දන්න පුළුවන් ඓතිහාසික දිනය එන්නේ 21 වැනිදාට. රෝහිතයි, රාජිතයි, සංජීවයි, ලක්‍ෂ්මන් විජේමාන්නයි හැම දෙනාම දැනුත් පරද්දලා ඉවරයි. අපි මෙතැන දසදහස් ගණනක් ජනතාව ඒකරාශී කරගෙන රැස්වීම් පවත්වන කොට රට විනාශ කළ දේශපාලනඥයෝ රනිල් වික්‍රමසිංහ එක්ක ඒ වාගේම සජිත් ප්‍රේමදාස එක්ක. අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවීමේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙන දිස්ත්‍රික්කය බවට කළුතර දිස්ත්‍රික්කය පත් කරන්න.

ජනතාව රොද බඳින්නේ තමන්ගේ දෑතින් රට ගොඩනඟන අපේක්ෂාවෙන්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීලා දකුණෙන් ප්‍රචාරක රැලි ආරම්භ කළ අපි බස්නාහිරෙන් ප්‍රචාරක රැලි අවසන් කරනවා. රට පුරා ගිය අපට විශ්වාසවන්ත මුහුණු, ධෛර්යයසම්පන්න මුහුණු දැක්කාම මේ සූදානම් වන්නේ ජනාධිපතිවරණයක දිනන්න පමණක් නොවෙයි, විශාල පරිවර්තනයක් වෙනුවෙන් බව අපට ඉතාම පැහැදිලියි. අපේ රටේ ජනතාව විශාල කාලයක් “මහින්ද රාජපක්‍ෂට ජයවේවා” කිවුවා. එයාලට ජය වුණා, රට වැටුණා. “රනිල් වික්‍රමසිංහට ජයවේවා” කිවුවා. එයාලට ජය වුණා, රට වැටුණා. ඉතිහාසයේ පළමුවැනි වතාවට අපේ පංතියේ කෙනෙක්, අපේකම දැනෙන, අපේ සුවඳ දැනෙන, අපේ සහෝදරත්වය, ළෙන්ගතුකම දැනෙන අපේම කෙනෙක් පත් කර ගන්න සූදානමින් සිටිනවා. අනුර සහෝදරයා කතා කරන කොට ඔබලාගේ මුහුණුවල තිබුණු සතුට මම දැක්කා. සමහර අයගේ ඇස්වල යම්තම් කඳුළු තියෙන හැටිත් මම දැක්කා. අපි හැමෝම සතුටින්, ඇස්වල කඳුළු පුරවාගෙන අපේ ජීවිතයේ ප්‍රාර්ථනා කළ දකින්න ආශාවෙන් සිටි අසිරිමත් මොහොත තව දින තුනකින් දකින්න පුළුවන්. ඒ අසිරිමත් මොහොතේ සාක්‍ෂිකරුවන් වෙන්න අපි හැම දෙනාම පුලපුලා බලාගෙන හිටියා. සමාජ පරිවර්තනයක කාලයක් හැමටම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පරිවර්තනයේ කොටස්කරුවන් ලෙස හැමෝටම දායක වෙන්න ලැබීම ගැනත් සතුට පුරවාගෙන ඉන්නේ. අනුර සහෝදරයා ජනාධිපති කරවලා රස්සාවක් ගන්න, කොන්ත්‍රාත් ගන්න, දරුවා හොඳ ඉස්කෝලයකට දා ගන්න බලාගෙන කිසිවකුත් මෙතැනට ඇවිත් නැහැ. මේ ඇවිත් ඉන්නේ අපි සාමුහිකව එක් වී මේ රට අපේ දෑතින් ගොඩනඟන්න ඕනෑ කියන කර්තව්‍යයට දායකත්වය දෙන්නයි. රටක් වෙනස් කරන්න පුළුවන් එවැනි ජනතාවකටයි. අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවලා, ඒ ජයග්‍රහණය යටතේ අප කිසිවකුටත් පෞද්ගලිකව යමක් ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ වේදිකාවේ ඉන්න කිසිවකුත් එවැනි බලාපොරොත්තුවකින් පැමිණි අය නොවෙයි. අපි පොහොසත් රටක් හදලා, ඒ පොහොසත් රටේ අපේ දරුවන් ලස්සනට ජීවත් වෙනවා දකින්න අප කාටත් සිහිනයක් තිබෙනවා.

අපි මෙතෙක් කල් පැමිණි ගමනේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි. අද රාත්‍රියෙන් පස්සේ රැස්වීම් තියන්න බැහැ, ගෙයින් ගෙට යන්න බැහැ, මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ. නීතියෙන් තහනම්. ඒ නිසා ඉදිරි දවස් දෙකේ අපට විරුද්ධ කණ්ඩායම් රට පුරා විශාල දුර්මත පැතිර වීමේ හැකියාවක් තියෙනවා. ඒ වාගේම ‘වට්ස්ඇප්’ මාධ්‍යයෙන් බොරු මත ප්‍රචාරය කරන්න ඉඩ තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල බොරු මත පළ කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. සමාජ මාධ්‍යවල සහ වට්ස්ඇප් පණිවුඩවලින් එන බොරු මත දැක්ක ගමන් නිවැරැදි කරන්න මැදිහත් වෙන්න. අපට හිතා ගන්න බැරි අතිශයින්ම නරක ප්‍රචාර අන්තිම මොහොතේ යවාවි. ඒ කිසිවකින් සැලෙන්නේ නැතිව පවතින ගැටලු අපේ හිතවතුන් සමඟ කතා කර විසඳා ගනිමින්, ජනාධිපතිවරණ ඉතිහාසයේ ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීමේ දායකත්වයට කළුතර දිස්ත්‍රික්කයත් ලබා දීම වෙනුවෙන් අපි කවුරුත් වැඩ කරන්න ඕනෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 38 දෙනාගෙන් තුන්, හතර දෙනෙක් හැරුණුකොට අනෙක් අය දැකලාවත් නැහැ. ඒ තුන්, හතර දෙනා අතුරින් නාමල් රාජපක්‍ෂලාව දාලා, ඒ ගොල්ලෝ වටේ හිටපු කණ්ඩායම අද රනිල් වික්‍රමසිංහ ළඟටත්, සජිත් ප්‍රේමදාස ළඟටත් ගිහිල්ලා. ඇප නැති වෙලා යන ප්‍රතිඵලයක් එන බව පැහැදිලියි. ඊට පස්සේ තව දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා වාගේ පෙනුණාට එක පැත්තකින් එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අනෙක් පැත්තෙ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු උපනායක සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒ නායකයෝ දෙන්නා දිහාත්, වේදිකාව දිහා බැලුවාමත් මට නම් පෙනෙන්නේ හොරු විතරයි. රට හදන්න පුළුවන් කෙනෙක් පේන්නවත් නැහැ. ඒ ගොල්ලෝ කතා කරන්න පටන් ගත්තාම තියෙන එකම මාතෘකාව ‘ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක’ විතරයි. අපේ වේදිකාවේ අනුර දිසානායක. රනිල්ගේ වේදිකාවේත් අනුර දිසානායක. සජිත්ගේ වේදිකාවේත් අනුර දිසානායක. අද හැමෝම කතා කරන්නේ අනුර සහෝදරයා ගැන. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ හැත්තෑඅටේ දී. ඊට අවුරුද්දකට කලින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ. රටට කරපු හොඳ දෙයක් නැහැ.

එයාගේ මාමා ඉන්න කාලේ දෙන්නා එකතු වෙලා ජාතිවාදය ඇවිස්සුවා. උතුරට ගිහින් පුස්තකාලය ගිනි තියලා, ඡන්ද පෙට්ටි කොල්ලකන්න දායක වුණා. අසූතුනේ දී ජාතිවාදී කෝලාහල ඇති කරලා, දෙමළ ජනතාවගේ දේපොළ කොල්ලකන්න මැදිහත් වුණා. ඊට පස්සේ බටලන්දත් තියාගෙන හිටියා. ඒ හැර වෙන කියන්න දෙයක් නැහැ. මේ දවස්වල සිහිකල්පනාව ටිකක් අඩු වෙලා වාගෙයි පෙනෙන්නේ. එක වෙලාවකට කියනවා, ‘වට්ටපු ආර්ථිකය ගොඩ ගත්තා’ කියලා. ඊට පස්සේ ආයේ කියනවා, ‘එයා නැති වුණොත්, සති තුනෙන් රට කඩාගෙන වැටෙනවා’ කියලා. එයා ආර්ථිකය ස්ථාවර කරලත් නැහැ. අපි ආවාම රට කඩාගෙන වැටෙන්නෙත් නැහැ. ඔය විදියට හිතුවොත්, රනිල්ට මැරෙන්නත් බැහැ. රනිල් මැරුණොත්, රට කඩාගෙන වැටෙනවා. කටුගස්තොට පැත්තේ කෘත්‍රිමව තෙල් පෝලිම් හැදුවා වාගේ ගොඩක් දේවල් ඉදිරි දින කිහිපය තුළ දී කරන්න බලාවි. ජනතාව බියවද්දමින් යන රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ. අනෙක් පැත්තෙන් තාත්තා ජනාධිපති නොවුණා නම්, සජිත් ගැන අපි කවුරුත් දන්නේ නැහැ. තමන්ගේ කියලා කිසිම හැකියාවක් නැහැ. එයාගේ රැකියා දීමේ ප්‍රතිපත්තිය උස නම් සෙකියුරිටි, මිටි නම්, කම්කරු නිසා චම්පිකට ලැබෙයි, සිකියුරිටි භාර අමාත්‍යාංශයක්. ඩලස්ට හම්බ වෙන්නේ කම්කරු අමාත්‍යාංශය. ඔන්න ඔය වාගේ ළාමක ටිං ටිං උත්තර කියන මිනිහෙක් ජනාධිපති කරන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. කිසි වගකීමක් නැති, කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති, තාත්තා ගැන කතා කර කර ඉන්න පුතෙකුට රටක් භාර දෙන්න පුළුවන්ද? ඒ හැම කෙනාම අසාර්ථකයි කියලා ජනතාව දන්නවා.

ඒ අය අතරේ අපේ පංතියේ අනුර කුමාර සහෝදරයා ඉන්නවා. 1988දී දේශපාලනයට ඇවිත්, අමාරුවෙන් ජීවිතය බේරාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ඇවිත්, බෞද්ධ සංගමයේ සභාපති වෙලා හිටියා. බෞද්ධ විරෝධී කතාවක් කිය කියා යන්නේ මේ බෞද්ධ සංගමයේ සභාපතිට. අවුරුදු විසිහතරක්ම පාර්ලිමේන්තුවේ හිඳිමින්, විවිධ වගකීම් දරා අත්දැකීම් සහිතව වාගේම පුළුල් දැනුමක් සහිතව ඕනෑම ප්‍රශ්නයකට උත්තර දිය හැකි දැනුමක් ලබාගෙන තිබෙනවා. මේ රටේ මේ වෙලාවේ උඩින්ම ඉන්න දක්‍ෂම දේශපාලනඥයා අනුර දිසානායක සහෝදරයා. රනිල්ලාට, සජිත්ලාට එයත් එක්ක හැරෙන්නවත් බැහැ. අපි අපේ රටේ මෙතෙක් කල් බිහි වුණු දැවැන්තම මහජන ව්‍යාපාරය ගොඩනඟා, එහි නායකයා ලෙස අනුර සහෝදරයාව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටිනවා. රට රකින්න සහ රට හදන්න පුළුවන් සියලුම බලවේග එක් කර ගත් දැවැන්ත මහජන ව්‍යාපාරයක නායකයා හැටියට අනුර සහෝදරයා ඉදිරිපත් වී සිටිනවා. අපි අනෙක් අය වාගේ ඇහින්දාස් විදියට කට්ටිය එකතු කරගෙන මේ ඡන්දයට ආවේ නැහැ. ඒ ආවේ ජනාධිපතිකම අරගෙන කංකෙඳිරි ගාන්න නොවෙයි. අපි ඇවිත් සිටින්නේ වට්ටපු රට ගොඩගෙන, අපි කවුරුත් එකතු වී කාටත් සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරන්නයි. අපේ ජයග්‍රහණයෙන් පසුව එය අවලස්සන වනවාට, කළු පැල්ලමක් එකතු වනවාට එය දශමයකින්වත් අපවිත්‍ර වෙනවාට අපි කවුරුත් කැමැති නැහැ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන එකම ඡන්දය බවට මේ ඡන්දය පරිවර්තනය කර ගනිමු. ඉදිරි දවස් කිහිපයේ කිසිවකුට පරද්දන්න බැරි දැවැන්තම දැවැන්ත මහජන බලයක් බවට මාලිමාව පත් කිරීම වෙනුවෙන් ඡන්ද හදමු. මම මෙතැනට එනකොටත්, පණිවිඩ ලැබුණා, කවියකින් අවසන් කරන්න කියලා. සෑහෙන කලකට පෙර හිරගෙයක අපේ සහෝදරයකු ලියූ කවියකින් මම අවසන් කරන්නම්.

“කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරැහැලි කැබැලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත-පය හකුල්ලා
නැඟිටපල්ලා, නැඟිටපල්ලා නුඹලාගේ වාරය ඇවිල්ලා”

පීඩාවට පත් වුණු ජනතාවනේ, අපි ඔක්කොම සහෝදරත්වයෙන් දෑත් බැඳගෙන රට ගොඩ ගනිමු; රට හදමු. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් නිර්මාණය කර ගනිමු. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *