Latestදේශීය

අවි බාර නොදුන්නොත් වැඩ වරදී

රජය විසින් ලබාදුන් නියෝග කඩකරමින් පෞද්ගලික ආරක්‍ෂාව සඳහා ලබාගත් ස්වයංක්‍රීය ගිනිඅවි ආපසු භාර නොදෙන දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ලබන මස 07 වැනිදා තෙක් මෙම අවි ආයුධ භාරදීමට කාලය ලබාදී ඇත. ඊට පෙර ආයුධ භාර නොදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියි.

පසුගිය වසර කීපයේදී ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ඉවක් බවක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි දේශපාලනඥයන් සහ විවිධ පුද්ගලයන් වෙත ලබාදී තිබිණි. ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටියේ මේ ආකාරයට ගිනි අවි 1690ක් විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති බවයි.

එසේ ලබාදුන් ආයුධ නිසි ක්‍රමවේදයකට සුදුසු පුද්ගලයන්ට ලබාදීමට වර්තමාන රජය තීරණය කළේය.

ඒ අනුව මෙම අවි ආයුධ මාසයක් ඇතුළත වැලිසර නාවික හමුදා කඳවුර වෙත භාරදීමට රජය නියෝග කළේය.

එහෙත් සතියක් ගතවද්දී වැලිසර නාවික හමුදා කඳවුර වෙත ලබාදී තිබුණේ ගිනි අවි 50 කටත් අඩු ප්‍රමාණයකි.

ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් දේශපාලනඥයන්ට සහ පසුගිය රජයේ ප්‍රබලයන් කීපදෙනකුටම ගිනි අවි 8 – 10ත් අතර ප්‍රමාණයක් ලබාදී ඇති බවයි.

මෙම අවි ආයුධ අපරාධ සඳහා යොදා ගන්නේ ද, ඒවා පරිහරණය කරන්නේ කවුරුන්ද යන්න නිවැරැදිව දැනගැනීම සඳහා ඒවා මෙසේ නැවත භාරගැනීමට රජය තීරණය කර ඇත.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *