Latestදේශීය

අනුර බිලියන 400කට වඩා ණයට අරගෙන – නිමල් ලංසා

“අපට මෙවර ආණ්ඩු බලය අවශ්‍ය නෑ. අපට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක් සහ විපක්ෂ නායකවරයා අපෙන් බිහිකර ගැනීමයි.” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ මීගමුව, වැල්ලවීදිය කාර්යාලයේ පසුගියදා (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අනුර කුමාර දිසානායක මහතා ආයේ මේ රට ණය කරන්නේ නෑ කිවුවා. දේශීය හෝ විදේශීය වෙළෙඳපොළෙන් ණය ගන්නේ නෑ කිවුවා. ඒත් මේ දවස් ටිකට බිලියන 400කට වැඩිය භාණ්ඩාගාර බිල්පත්වලින් ණය අරන්. හැබැයි මැතිවරණ කාල සීමාවේ කිවුවේ රටේ මිනිස්සු තවත් ණය කරන්නේ නෑ කියලා. අනුර කුමාර මහතාත් ආර්ථිකය මෙහෙයවන්නේ පරණ විදිහටමයි. අලුත් දෙයක් නෑ. අද දේශීය වෙළෙඳපොළෙන් ණය ගන්න හැකි වෙලා තියෙන්නේ එදා රනිල් වික්‍රමසිංහ මහතා අමාරු තීන්දු අරන් ආර්ථිකය හදපු නිසයි.

ජනතාව හිතුවේ රනිල් වික්‍රමසිංහ මහතා ආවොත් බදු වැඩිවෙයි කියලා. සජිත්, අනුර ආවම බදු අඩුවෙයි කියලා. සහන ලැබෙයි කියලා හිතූ ජනතාව රනිල් වික්‍රමසිංහ තුන්වෙනි තැනට පත්කළා. ආර්ථික වර්ධනය අද 4.2%ට වැඩි වෙලා. සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6යි. මේ විදිහට ආදායම වැඩි වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ නිසා බව අද ජනතාව තේරුම් අරන් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදපු නිසා අද ණය ගන්නත් පුළුවන්. රට බංකොලොත් වෙලා තිබුණා නම් ණය ගන්න බෑ. 2025 අය-වැයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන ප්‍රතිසංස්කරණ කිරීම, අලුත් ආදායම් මාර්ග ගැනීම, බදු වැඩි කිරීම ගැන පෙන්නන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගෑස් සිලින්ඩරය ලකුණෙන් මෙවර මහමැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක් සෑම දිස්ත්‍රික්කයකින්ම ඉදිරිපත් කර තියෙනවා. අනෙක් කණ්ඩායම් දිහා බැලුවාම ශක්තිමත්ම කණ්ඩායම ඉන්නේ අපට. අපේ කණ්ඩායම මහ පොළොවේ ජීවත්වන, මිනිස්සු එක්ක ඉන්න ප්‍රබල කණ්ඩායමක්. අපට මෙවර ආණ්ඩු බලය අවශ්‍ය නෑ. අපට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක්. විපක්ෂ නායකවරයා අපෙන් බිහිකර ගැනීමට කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 39ක් තේරීපත් වූ අවස්ථාවක් තියෙනවා. මේ පාර ඒ අයගෙන් කී දෙනාද තරග කරන්නේ. එදා ජවිපෙ 39 දෙනාගෙන් අද තුන්දෙනයි ඉල්ලන්නේ.”

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *