Latestදේශීය

රැල්ලට පාර්ලිමේන්තු ගිය අය මිනිස්සුන්ට කන්නත් නැතිකරලයි පැනලා ගියේ – ජගත් විතාන

ගෝඨාභය රාජපක්ෂ පිටුපසින් රැල්ලට ගසාගෙන ආ විද්වතුන් අද කොහේ සිටිනවාදැයි සොයා බලන ලෙස කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක ජගත් විතාන මහතා පවසනවා. පොල්ලෙල්ලක් දැම්මත් රැල්ලට දිනපු ඉතිහාසය තුළ රටට සිදුවූ විනාශය මෑත ඉතිහාසයේ අත්දැක්ක බවත්, රැල්ලට එන අපේක්ෂකයින් වෙනුවට ජනතාව අතර සිට ජනතාව වෙනුවෙන් සේවය කරන ඇත්ත ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට මෙවර මැතිවරණයේදී සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසනවා. මතුගම පැවති ජනහමුවක් අමතමින් ජගත් විතාන මහතා මෙම අදහස් ඵල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් විතාන මහතා,

පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට තිබුණ රැල්ල දැන් නැහැ. අද අපේ රටේ අපේක්ෂකයෝ පිරිසක් බලා ඉන්නවා රැල්ලට පාර්ලිමේන්තුවට යන්න. ඒ අපේක්ෂකයන්ගෙන් කී දෙනෙක් ජනතාව අතර හිටිය ද කියලා හොයලා බලලා ඡන්දය දෙනන් ඕනා. රැල්ලට ඡන්දය දුන්න අයත් දැන් උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණපාලා තියෙන්නේ. මාලිමාවෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් කවුද කියලා බහුතර ජනතාව හදුනන්නේවත් නැහැ. ඒ නිසා බුද්ධිමත්ව හිතා බලා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

අපි දැක්කා ගෝඨාභයගේ රැල්ලටත් ගසාගෙන ආපු මන්ත්‍රිවරු පිරිසක් හිටියා, විද්වතුන් කියලා. එදා රාජපක්ෂලා කිවුවේ අපේ පක්ෂයෙන් පොල් ලෙල්ලක් ආවත් දිනනවා කියලා. එහෙම ආපු අයගෙන් ජනතාවට මොනවත් වුණේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. දැන් ජනතාව ගොනාට අන්දන්න බැහැ. ජනතාව බුද්ධිමත්වයි කටයුතු කරන්නේ. එක එක කාලෙට එන රැලිවලට පාර්ලිමේන්තු යන අයට මොනවත් කරන්න බැහැ කියලා ඔවුන්ට තේරිලා තියෙන්නේ. එහෙම අයට අද ජනතාව රැවටෙන්නේ නැහැ කියලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙනුත් ඔප්පු කරලා පෙන්නුවා මේ රටේ ජනතාව. මාලිමාව බලාපොරොත්තු වුණ රැල්ල එතන තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටේ ජනතාවට බරක් වෙන්න ඕනෙ නැහැ. ඒ අයට මිළ අධික V8 වාහන ගන්නත්, ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්නත් ජනතාවගෙන් ඡන්දය ඉල්ලනවා. රටේ ජනතාව දුගී තත්ත්වයට පත්කර, දරුවන්ට බත් වේලක් කන්නත් නැති කරලයි මේ අය ජනතා බදු මුදලින් නඩත්තු වෙන්න උත්සාහ කරන්නේ.

ඒ නිසා තමයි දේශපාලනයේ ක්‍රියාකාරීව කටයුතු කළ, පොදු ජනතාවට දැනෙන්න සේවයක් ඉටු කළ, ඉටු කළහැකි ජනතාව වෙනුවෙන් හඩක් නැගිය හැකි, ජනතාවගේ බදු මුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට බලාපොරොත්තු නොවන පුද්ගලයන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට යුතුකමේ මනාපයක් ලබාදීමට ජනතාව පෙළගැහිලා තියෙන්නේ. ජනතාවගේ බදු මුදල් ගසා කමින්, බොරුවෙන්, වංචාවෙන්, දුෂණයෙන් ජනතාව මුළා කළ අපේක්ෂකයන් ගෙදර යැවීමට මේ 14 වෙනිදාට ජනතාවට අවස්ථාව උදා වෙනවා.

අපි හොරකම් කරලා නැහැ. අපි බොරු කියලා නැහැ. අපි කරන්න පුලුවන් දේ කියනවා. කියන දේටත් වඩා ජනතාව වෙනුවෙන් අපි කරලා තියෙනවා. ඒ නිසා මෙවර මැතිවරණයෙන් අපි ලබන ජයග්‍රහණය නිසැක ලෙසම ජනතාවගේ විජයග්‍රහණයක් බවට පත්කරන්න අපි කටයුතු කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *