විජේවීරට ඝාතනය වූ සියලුදෙනාට යුක්තිය ඉටුකරන්න – කුමාර් ගුණරත්නම් අනුර දිසානායකට ලියයි
1988-1989 වකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. පක්ෂ නායකයන්ගේ ඝාතන පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙසත් උතුරු ප්‍රදේශයේදී 2009 සිදු වූ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් හා ඝාතන ගැන විමර්ශනයක් සිදුකර යුක්තිය ඉටුකරන ලෙසත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්නම් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
එම ලිපියේ පහත කරුණු ද සඳහන් වෙයි.
ඔබ රටේ ජනාධිපති ලෙස පත් වී ආණ්ඩුවක් ගොඩනඟා ඇති මේ මොහොතේ මේ සඳහා කඩිනමින් මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කරමු. තවද එවැනි පූර්ණ විමර්ශනයක් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අපි සූදානමින් සිටිමු. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය ඇතුළු සිදුවීම් පිළිබඳ අප සතු සාක්ෂි සහ තොරතුරු ලබාදීමට පෙරටුගාමි සමාජවාදී පක්ෂය සූදානමින් සිටින බවද අවධාරණය කළ යුතුය.
උතුරේ සිදුවීම්වලට අදාළ යෝජනාවට අදාළව මීට පෙර ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පත්කර වාර්තා සකස් කර ඇත. අතුරුදන් කිරීම් පිළිබඳ පනත් සම්මත කර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවා තිබිණි. අද අවශ්‍ය වන්නේ ඒ අතීත තොරතුරු පදනම් කර ගනිමින් මෙම සිදුවීම් පිළිබඳ සත්‍ය සමාජයට අනාවරණය කිරීම සහ යුක්තිය ඉටුකිරීම විනා කල්මරණ කොමිෂන් සභා නොවේ. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බරපතළ ලෙස බැට කෑමට ලක්ව ඇති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ඔබ ඇතුළු ආණ්ඩුව ඒ සඳහා ඉක්මන් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
@දිවයින