Latestදේශීය

බාල බෙහෙත් සිද්ධියට රනිල් දිනේෂ් ඇතුළු හිටපු කැබිනෙට්ටුවේ 18කගෙන් ප්‍රකාශ ගනී

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අදාළ බෙහෙත් ගෙන්විම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොශාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු කැබිනට් මණ්ඩලයේ 18කගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඊට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමු වැනි සැකකරු වන බාල ඖෂධ සැපයුම් සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව නිකුත් කළ මානසික වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව වෛද්‍යවරයාගේ සීමාව ඉක්මවා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ඉදිරියේදී කරනවාද නැත්ද යන්න ඊළඟ දිනයේදී තීරණය කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

පසුගිය නඩු විභායේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනයේ වෛද්‍ය වාර්තාව අධිකරණ සේපුවෙ තැන්පත් කළ අතර (11) නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීම පරිදි එය කියවා බැලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සම්බන්ධයෙන් සැකකරුගේ වචනයෙන්ම සඳහන් වන ඡේද දෙකක් ඇතුලත් කර ඇති බවත් වෛද්‍යවරයකු ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තාවක එැවැන්නක් ඇතුලත් වීම ප්‍රශ්නගත බවද එහිදී මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නොමැතිව කරන චෝදනා සම්බන්ධයෙන් තම අධිකරණයට විමර්ශන සිදු කිරීමට හැකියාවක් නොමැති බවද එහිදී මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම තනතුර දැරීමට නුසුදුසු බවත්, ඇය තමන්ගේ ඇප ලබාගැනීමට ඇති අයිතිය පුද්ලික පළිගැනීමේ චේතනාවෙන් අහුරා ඇති බවත් පළමු සැකකරු චෝදනා කර සිටී. එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ ගිය වසරේ නොවැම්බර් 15 දින නීතිපතිවරයා විසින් තමන්ව පත් කළ බවත් ඒ සම්බන්ධයෙන් ගැටලු‍ ඇත්නම් නීනීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි.

එහිදි මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළේ ඒ සම්බන්ධයෙන් වන තීරණය නීතිපතිවරයා විසින් ගනු ඇති බවයි. ඉන් අනතුරුව ලබන නොවැම්බර් 25 දක්වා පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *