මේක අමුතු ඡන්දයක්…. හරිම අමුතු ඡන්දයක්…..
(ක්‍රිස්ටෝෆර් ගාඩිනර්)
සමානුපාතික නියෝජන ක්‍රමය ශ්‍රී ලංකා මැතිවරණ ක්‍රමයට ආදේශවූ දා සිට මේතාක් කල් තනි පක්ෂයක් පාර්ලිමේන්තුව තුල බහුතරය හිමිකරගන්නා මැතිවරණය 2024 පාර්ලිමේන්තු මැතිවරණය වීම විශේෂයි. ඡන්ද 6,863,186 ක් ලබා දෙමින් මෙම ප්රථිඵලය ජාතික ජන බලවේගයට හිමි කරදීමට සියළු රට වැසි ඡන්ද දායකයින් කටයුතුකර ඇත. ලංකා මැතිවරණ ඉතිහාසය තුල තනි අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන 716,715 හිමිකම් කියන්නට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු විජිත හේරත් සහෝදරයා සමත් වීමද මෙම මැතිවරණයේදී දකගත හැකි වීම විශේෂයි. ඒ වගේම නොකියාම බැහැ ”දිනන එක දින්නා ලොවෙත් නැතිවෙන්න.”
ඉතිහාසගත ජනමතයක්, තර්ජන ඝර්ජන නෙමැති මැතිවරණයක්, පළපුරුදු අය එලවපු, කිරි කෝඩු, කෝඩු අය ගෙන්වපු මැතිවරණයක්. එමෙන්ම උගත් නියෝජිතයින් පාර්ලිමේන්තුව තුල අසුන්ගන්වා එයට විශ්වවිද්‍යලයක ස්වරූපය වෙස්ගන්වන්නට ඡන්ද දායකයා කටයුතු කර ඇත. මා පෙර සඳහන් කල ආකාරයටම මේක අමුතු ඡන්දයක්, හරිම අමුතු ඡන්දයක් බව කිව යුතුය.
මේ අවස්ථාව වන විට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රථිඵල නිකුත් හමාරය. ඒ සඳහා අපේක්ෂකයින් 8888 දෙනෙක් ඉදිරිපත් විමද විශේෂයි. නිකුත්වූ ප්රථිඵලයට අනුව ජාතික ජන බලවේගය බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකට වැඩි ආසන සංඛ්‍යාවක් එනම් පාර්ලිමේන්තු අපේක්ෂක නියෝජන ආසන 141, ජාතික ලයිස්තු නියෝජන ආසන 18 ක් සමග ආසන 159 ක් ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බලය අත් පත් කරගෙන ඇත.
සියයට තුනක ජන්ද ප්‍රතිශතයක් සියයට හතලිස් දෙක දක්වා වර්ධනය කරගනිමින් පසුගිය සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු තුන් දෙනෙකුගෙන් සමන්විත ලොව කුඩාම කැබිනෙට් මණ්ඩලය කෙරෙහි ජනතාව විශ්වාසය තබා ඇති බව මෙම ප්රථිඵලය නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිය.
උතුරත්, දකුණත්, නැගෙනහිරත්, බටහිරත්, මධ්‍යමත් එකා මෙන්ම පෙරමුණ ගත්හ. සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියළු ජාතීන් මෙන්ම බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හින්ඳු ආගම් එකම අරමුණක සිට ගත්හ. ශ්‍රමදානය නිසියාකාරව හමාර කලහ.
අප රටේ උතුරු ප්‍රදේශය ගැන විනිවිද දකිනවානම් යාපනය දිස්ත්‍රික් ප්රථිඵලය විශේෂයි. මන්ද මෙතෙක් ඒ මිනිසුන් හට තිබී ඇත්තේ සිංහල නොතේරෙන ප්‍රශ්නයක් වත්, සිංහල ජාතිය කෙරෙහි වෛරයකින් පසුවූ බවත්වත් නොවෙයි කියල මුළු ලොවක් හමුවේ ඔවුන් කියා ඇත. ඇත්තටම ඔවුන් හට තිබී අත්තේ ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ මූලික ප්‍රශ්න ගැන හිතන ජාතිවාදී, ආගම්වාදී, නොවන නායකයෙකු පසුගිය වසර 76 පුරාවටම හමුවී නොමැති වීම බව යාපනය සමස්ත ඡන්ද ප්‍රථිපලය වෙත අවධානය යොමුකිරීමේදී තේරුම්ගත හැක.
මුළු රටක් එක අරමුණකට ගෙන එමින් රටක් ගොඩනගන්නට පෙරමුණ ගැනීම ගැන ජනපති අනුර කුමාර දිසානායක සහේදරයා, ඇතුළු ජාතික ජන බලවේගයේ සහොදර සහෝදරියන්ටත්, ජයග්‍රහණයේ කොටස්කරුවන් වන සියළුම ඡන්ද දායකයින්ටත් ස්තුති කල යුතුව ඇත. මා දකින ආකාරයට මේක තමයි රටක් පතපු ”සිස්ටම් චේන්ජ්” එක.
එමෙන්ම මෙම ඡන්ද ප්‍රථිඵල දකින්නට පළපුරුදු ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා යැයි පුරසාරම් දෙඩූ හිටපු ජනපති වරුන් වන මහින්ද රාජපක්ෂත්, රනිල් වික්රමසිංහත් ප්රමුඛ සියළු පලපුරුදු කෙලිකාරයින් ජීවතුන් අතර සිටීම ගැන නිහතමානීව සතුටු වෙන අතර ඔවුන්ගේ අනුගාමිකයින් ද හොඳින් මෙම ප්‍රථිපලය දෙස විමසිල්ලෙන් බලා පෙර වැරදි නිවැරදි කල යුතුව ඇත. අනාගත පරපුර වෙනුවෙන් ඔවුන්ද පෙරමුණ ගත යුතුව ඇත.
මේ ලබාගන්නා ලද ජයග්‍රහණය ජාතික ජන බලවේගය විසින් අනිවාර්යයෙන්ම තහවුරු කිරීම කලයුතු මෙන්ම තම ඡන්ද දායකයාගේ සිට සියළු රටවැසියන්ගේ ඉල්ලීම්, බලාපොරොත්තු, පාලනතන්ත්රයේ සිදුවියයුතු වෙනස්කම්, අයතනයන්හි යාවත්කාලීන කිරීම්, ව්‍යවස්ථා සංශෝදනයන් මෙන්ම වංචා දූෂණ ගැන විමර්ෂණ, ඝාතන, අතුරුදන් කිරීම් ගැන පරීක්ෂණ සහ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය ජනතාවට තහවුරුකල යුතුව ඇති බව කිව යුතුය. තවද සිදුවිය යුතු විගණනයන්, අයතා ඉපැයීම් ගැන විමර්ෂණයන් කඩිනම් කල යුතුව ඇත. සොරා කෑ ධනය තිබෙන්නේ නම් ඒවා ලබාගෙ භාණ්ඩාගර ගත කළ යුතුය. රට වැසියන්ගේ එකම බලාපොරාත්තුව ද එයයි.
ශ්‍රී ලංකා රට වැසියන් අවශ්‍ය ඕනෑම දුෂ්කර අවස්ථාවකදී ජාති, ආගම්, කුල, පක්ෂ, පාට ගැන නොබලා එක අරමුණකට ගොඩවීමේ විශේෂ චින්තනයක් සහිත ජන කොටසක් බව විශේෂයෙන් සැලකිය යුතු කරුණක් මෙන්ම එය ජයග්‍රහණයක් දක්වාම රැගෙන යෑමේ හැකියාවත් ඔවුන් සතු බව කිව යුතුය. හිටපු ජනපති ඝෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකල අරගලයේදීද එය දැකගත හැකි විය.
මා එය විශේෂයෙන් සඳහන් කරන්නේ, සියළු රට වැසියන් එක්කාසුව ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකකට වැඩි බලයක් හිමිකර දී ඇත. එම බලය අයුතු ලෙස පාර්ලිමේන්තුව තුලත් එයින් පිටතත් යොදාගන්නේ නම් ඒ සඳහා රටවැසියන් මෙහෙයවීමේ වගකීමත් රටවැසියන් විසින්ම ක්‍රියාත්මක කරන බවත් කිව යුතු අතර එය එසේ නොවන්නට ජනපති අනුර කුමාර සහෝදරයා ඇතුළු සියල්ලන් වගකීමෙන් බලාගත යුතුය. සියළු රට වැසියන් ජයග්රහණයෙන් උද්දාමයට පත්වී ඇත.
බලයේ සිටි මෙවර ඡන්දයෙන් පලවාහැරි දූෂිත දේශපාකයින් සහ එවකට රාජ්‍ය ආයතනයන්හි සිටි දූෂිත නිලධාරින් විනාශකල මේ සුන්දර රට ගොඩනැගීමට තව කාලයක් යාවි. ඒ සඳහා මාලිමා රජයට අප ද සහයෝගය දිය යුතුය. ඒ අතරම රට වැසියන් හැටියට අප අපගේ යුතුකම් ද ඉටු කල යුතුය.
කෙටියෙන් කියනවානම් ටොෆි කොලයක් බිම අත හැරීම, තැන තැන බුලත් කෙල ගැසීම වැනි දේවල් සුළු කොට නොතකා අප හට හැකි හැම දෙයකින්ම රට ලස්සනට තබා ගන්නට කටයුතු කරන්නටත් එකා මෙන්ම එක්සාසු වෙන ලෙස සියළු රට වැසියන් හට ආරධනා කරමු.
”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනගන්නට එකා මෙන්ම උදව් කරමු.