මතවාද

සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කරයිද? නම රැකුණත් නැතත් සිදුවන ඇත්තම දේ මෙන්න..

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය ඉල්ලා ඇති තොරතුරු ලබා නොදුනහොත් සිංහරාජ වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බව මෙරට පරිසර සංවිධාන පසුගිය දා අවධාරණය කර සිටියා.

සිංහරාජ වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරිමේ අවධානමක් පවතිනවද? මේ ඒ සම්බන්ධයෙන් තබන සටහනකි.

යුනෙස්කෝ සංවිධානය සිංහරාජ වනාන්තරය පිළිබඳව ශ්‍රි ලංකා රජයට යොමුකල විවෘත ලිපියේ සිංහල අදහස මෙලෙසයි.

ලෝක උරුම දේපල සංරක්‍ෂණය කිරීමේ විවෘත ලිපිය “සිංහරාජා රක්ෂිතය” (ශ්‍රී ලංකාව)

ලෝක උරුම දේපලක් වන “සිංහරාජා වන රක්ෂිතය” හරහා ගමන් කරන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් ගණනාවක් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයට ලැබී ඇත. විශ්වීය වටිනාකම් වලට අහිතකර ලෙස බලපෑ හැකි දේපල ,මාර්ග සංවර්ධනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වු නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව නැවත වැඩ ආරම්භ වී ඇති බව එම ඊමෙල් ලිපි හරහා පෙනේ.

නිරිතදිග ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සිංහරාජය යනු ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර බොහෝ ඒවා දුර්ලභ යැයි සැලකේ. ශ්‍රී ලංකාවේ ආවේණික ක්ෂීරපායින් හා සමනලුන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම රක්ෂිතය තුළ වාසය කරයි.

ලෝක සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ 1972 සම්මුතියට එනම් ලෝක උරුම සම්මුතියට අත්සන් කිරීමේදී සෑම රාජ්‍යයක්ම “හඳුනා ගැනීම, ආරක්ෂාව, සංරක්ෂණය, ඉදිරිපත් කිරීම සහතික කිරීමේ යුතුකම”  යන කරුණු වලට එකඟ වී ඇති බව ලෝක උරුම මධ්‍යස්ථානය සිහිපත් කිරීමට කැමතියි. සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීම එවා පිහිටා ඇති භූමියෙහි රජයට මූලික වශයෙන් අයත් වේ.  එබැවින් සෑම රාජ්‍යයක්ම ඒ සම්බන්ධයෙන් පලදායී හා ක්‍රියාකාරී පියවර ගන්නා බවට සහතික කිරීමට කැපවී සිටී.(ලෝක උරුම සම්මුතියේ 4 සහ 5 වගන්ති ප්‍රකාරව)

ලෝක උරුම දේපලක් තුළ හෝ ඒ අවට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස පාරිසරික බලපෑම් තක්සේරු කිරීම්, උරුම බලපෑම් තක්සේරු කිරීම් සහ හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු කිරීම් සිදු කළ යුතු බව මෙහෙයුම් මාර්ගෝපදේශ නියම ඇත. කිසියම් ඉදිකිරීම් කටයුත්තක් නැවත ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා බලධාරීන් එවැනි අධ්‍යයන හෝ ඇගයීමක් හදිසි කාරණයක් ලෙස සලකා ලෝක උරුම කමිටුවේ උපදේශක මණ්ඩලය වෙත සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස ලෝක උරුම මධ්‍යස්ථානය ඉල්ලා සිටි.

තවද ලෝක උරුම මධ්‍යස්ථානය මේ සදහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටින අතර මානව වර්ගයා වෙනුවෙන් පොදු උරුමය ආරක්ෂා කිරීම සඳහා වූ අපගේ ජනවරමට අනුකූලව යුනෙස්කෝව මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින බව තවදුරටත් අවධාරණය කරමු.

අදාල ලිපියට – http://whc.unesco.org/en/news/2184

මීට අමතරව ලෝක උරුමයන් අශ්‍රිතව සිදුකෙරෙන මාර්ග සංවර්ධන කටයුතු හරහා එම උරුමයන්ට සිදුවන වක්‍ර බලපෑම පිළිබඳව ද මෙලෙස යුනෙස්කොව මෙම විවෘත ලිපිය හරහා මෙලෙස පෙන්වා දී ඇත.

 2014 දෝහා ලෝක උරුම කමිටුවේ 38 වන සැසියේදී  සම්මත කරන ලද දේපල සඳහා කැපී පෙනෙන විශ්වීය වටිනාකම පිළිබඳ ප්‍රකාශයට අනුව “ලෝක උරුම දේපලෙන් පිටත සිදුකරන මාර්ග සංවර්ධනය තුළින් වක්‍ර බලපෑම් ඇති වන  අතර පසුව දේපලවලට ඇතුළුවීම, නීති විරෝධී දැව කැපීම සහ සම්පත් ඉවත් කිරීම සඳහා පහසුකම් සැපයීම මාර්ග සංවර්ධනය හේතුවෙන් ඇතිවිය හැකි සැලකිය යුතු තර්ජන වේ. මේවා සැලකිල්ලට ගනිමින් ලෝක උරුම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් පූර්ණ වශයෙන් කැපවී සිටින බවත්, සිංහරාජ වන රක්ෂිතයේ ආරක්ෂාව සහතික කරනු ඇති බවත් ලෝක උරුම මධ්‍යස්ථානය විශ්වාස කර සිටි.

2020 ඹකතොම්බර් 09 වන දින විවෘත ලිපියක් මගින් යුනෙස්කෝව මේ පිළිබද කරුණු අනාවරණය කරමින් තවමත් සිංහරාජය පිළිබද නවතම තතු තමන්ට නොලැබුනු බව දන්වා සිටින විට යුනෙස්කෝව සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසන්නේ වෙනම කතාවකි. සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිත ලංකාගම-නෙළුව මාර්ගය සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර මාර්ගෝපදේශ උල්ලංඝනය වී නොමැති බව පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත දන්වා ඇති බව එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය දන්වා සිටිනවා.

අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය කර ඇති විමසීමට අදාළව “පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී ඇති වාර්තා” පෙන්වා දෙමින් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මේ බව ප්‍රකාශ කලා. නමුත් එම තොරතුරු ලබා දුන් දිනය මීගස්වත්ත මහතා නිෂ්චිතව සදහන් කළේ නැහැ.

කෙසේ වෙතෙත් එම වාර්තාවට අනුව මෙම මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 8.9 ට අයත් වාරුකන්දෙනිය-ලංකාගම අතර ස්ථාන තුනක් සිංහරාජ වන රක්ෂිතය මැදින් වැටී ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි දුර මීටර් 420, 630 සහ 205 වශයෙන් වූ එම කොටස් තුන තුළ මාර්ගය පුළුල් කිරීමක් හෝ කාපට් දැමීමක් සිදුව නොමැත. එහෙත් මීට කලකට පෙර සංවර්ධනය කරන ලද එම කොටස් තුනට අයත් කොන්ක්‍රීට් මාර්ගයේ කැඩී බිඳුණු ස්ථාන සහ බෝක්කු පමණක් පිළිසකර කර ඇත.   මේ හේතුවෙන් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන ඉවත්කිරීමේ අවධානමක් නොමැති බව බලධාරීන් කියා සිටී.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිංහරාජය සම්බන්ධ ගැටලුව මේ වන විට යට යමින් සහ යට යවමින් පවතින අතර සිංහරාජ වැසි වනාන්තරය සම්බන්ධයෙන් හිතූ හිතූ ලෙස තීරණ ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති බව කිව යුතුමයි. අද කවුරුන් හෝ තම බලය පාවිච්චි කර ලෝක උරුමයක් වන සිංහරාජ සම්පත විනාශ කළහොත් ඉන් වන විනාශය අදට වඩා බලපානු ලබන්නේ අනාගත පරපුරටයි.

සංවර්ධනයේ නාමයෙන් පරිසර විනාශයන් සිදුකළ සහ සිදුකරන දේශීය සහ ජාත්‍යන්තර ජාවාරම් හමුවේ මේ වන විට ජීවින්ගේ පැවැත්මට මෙන්ම මානව පැවැත්මට සිදු වී ඇති අවධානම සුළුපටු නැත. එබැවින් දැනටමත් ප්‍රමාද නමුත් පරිසරයට රැකගැනීමේ ජාතික වැඩපිළිවෙලක් මත පිහිටා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. තවද එම වැඩපිළිවෙල හුදු මාධ්‍ය සංදර්ශන නොවී පරිසරය රැකුණොත් අප රැකේවි යන අරමුණ මත පිහිටා දියත් කළ යුතුය.

යුනෙස්කෝව පෙන්වා දෙන පරිදි ලෝක උරුමයන් ආශ්‍රිතව සිදුකෙරෙන සංවර්ධන කටයුතු හරහා එම පරිසර පද්ධතීන් හට සිදුවන වක්‍ර බලපෑම සුළුපටු නොවේ. ලෝක උරුම ලැයිස්තුවේ නම රැදි තිබුණත් නොතිබුණත් සංවර්ධන ක්‍රියාවලියේ අහිතකර බලපෑම් තුළින් සමස්ථ මානව ප්‍රාජාවටම  අත්විදිමට සිදුවන ප්‍රතිඵල සුභදායී නොවන බව අනිවාර්යයකි. ඒ නිසාම සියලුදෙනා කොන්දෙසි විරහිතව පෙනි සිටිය යුත්තේ පරිසරය වෙනුවෙනි.  

ඕෂද කපිල බණ්ඩාර









 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *