පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
එහි සභාපති විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වේ.
කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණේ 2019 වසරේ ඔක්තෝබර් 31 වැනි දා වන අතර එදින සිට දින 214 ක් රැස් වූ කොමිෂන් සභාව සාක්ෂිකරුවන් 457 දෙනකුගෙන් අවස්ථා 640 කදී සාක්ෂි විමසා තිබේ.
මීට අමතරව විමර්ශනයට සහය වූ නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව වෙත ආධාරක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන සංඛ්‍යාව 2,230 ක් වේ.