දේශීය

පස්සර අනතුර – ටිපර් රථ රියදුරු අත්අඩංගුවට

පස්සර රිය අනතුර සිදුවීමත් සමග පළා ගිය ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක සහන මුදලක් ලබා දීමට ඌව පළාත් සභාව තීරණය කර තිබේ.

එම පුද්ගලයින්ගේ අවසන් කටයුතු ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදුකිරීමට ද තීරණය කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පතිරණ මහත්මිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

පස්සර රෝහලේ තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර එම අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14කි.

මේ අතර අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් පැවැත්වීමට නියමිත බව පොලීසීය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අනතුරින් බස් රථයට පූර්ණ හානි වීම හේතුවෙන් ඒ සඳහා කිසියම් කාලයක් ගතවිය හැකි බවයි.

පස්සර මාරක රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එම කමිටුවේ නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *