කිරිපිටි කිලෝවක මිල රු.200කින් ඉහළට
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා ඇති අතර එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබේ.
සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ජීවන් වියදම් කමිටුව විසින් එළඹෙන සතියේ ගැනීමට නියමිතය.
දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වනවිට රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත.