දේශීය

දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (25) සිට යළි අධ්‍යන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසරකට අධික කාලයක් දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර අදියර කිහිපයක් යටතේ යළි පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා පියවර ගත්තේය.

ඒ අනුව පසුගිය 21වන දා ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර එහි දෙවන අදියර වශයෙන් අද දිනයේ සිට දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එසේම අද දිනයේ පාසල්වලට පැමිණෙන ළමුන්ට නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නොවන බව ද සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණිමේ අවස්ථාව සිසු දරුවන්ට හිමිවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

පවතින තත්ත්වයන් මත සිසු දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ සපයා ගැනීමේ දුෂ්කරතා පවතින නමුත් වඩා වැදගත් වන්නේ සිසුන් පාසල්වලට පැමිණිම බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි පංති කාමරවල අධ්‍යයන කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති අතර වැඩි ළමුන් සංඛ්‍යාවක් සිටින පංති සඳහා කණ්ඩායම් වශයෙන් ළමුන් පාසලට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

අද දිනයේ සිට සියලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමට තීරණය කර තිබේ.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබු අතර එම වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සඳහන් කරයි.

ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණිය ද සිය ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව අරගල සිදුකරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *