දේශීය

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වෙයි

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වනවිට උන්වහන්සේ 84 හැවිරිදි වියේ පසු විය.

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.

නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින පෑලියගොඩ විද්‍යාලංකාරය පින්බිමේ පැවති අසිරිමත් ධර්ම සංගායනාව සියසින් දැක ගැනීමේ වරම් හිමි කරගත් මේ කුලකුමරු 1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9දෙනෙකු සමග එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී.

එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටුවහලකි. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු ස්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබා ගත් කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්තේය.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ.

උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි නිරතවෙමින් බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේ ය.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමියන් පැවසුවේ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය අද (28) දහවල් 12.00න් පසු මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කිරීමට නියමිත අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *