දේශීය

සිරිල් ගාමිණී පියතුමා CIDයට?

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමට අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ගරු සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් එම පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොසිටි අතර ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනකු පැමිණ තිබේ.

ශාන්ති කුමාර වැලිවිට පියතුමන්, රවීන් සඳසිරි පියතුමන් සහ ශ්‍රීනාත් මනෝජ් පියතුමන් මෙලෙස පෙරවරුවේ CIDය වෙත පැමිණ සිටියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා සූම් තාක්ෂණික සංවාදයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම සංවාදයට එක්වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු.සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

අදාළ සංවාදයේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මූල්‍යමය හා වෙනත් සහන ලබා දී ඇතැයි ප්‍රකාශ කර ඇති බව එම පැමිණිල්ලේ දැක් වේ.

එසේම සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර ඇතැයි එම පියතුමන් ප්‍රකාශ කර ඇති බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වුණි.

එම සියලු චෝදනා මුළුමනින්ම අසත්‍ය චෝදනා බවත් ඒ ඔස්සේ තමන්ට සහ බුද්ධි අංශ වෙත දැඩි අගතියක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිය පැමිණිල්ල තුළින් ඉල්ලා තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අනුමැතිය අපේක්ෂා කරන බවයි.

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර එහි ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සතියක කාලය ලබාදෙන ලෙස සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබූ ඉල්ලීම ඇතුළත් ලිපිය ගරු ශාන්ති කුමාර වැලිවිට පියතුමන් ඇතුළු පියතුමන්ලා තිදෙනා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *