දේශීය

ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

සේවය නිමා කර සිය රට බලා පිටත්ව යාමට නියමිත මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනිම සඳහා ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ්  වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද මෙහිදී කෘතඥතාව පළ කර තිබේ.

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඇති තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කර ඇති බව වාර්තා වේ.

ඇලයිනා බී. ටෙප්ලිට්ස්  මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුභාශීංසන එක් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *