දේශීය

මහ බැංකු අධිපතිට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය අද (03) නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35වන වගන්තිය ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතුකර තිබුණි.

ඊට අමතරව නීතිපතිවරයා විසින් තවත් මූලික විරෝධතා කීපයක් ද ඉදිරිපත් කළේය.

පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *