Latestදේශීය

පියතුමාව අත්අඩංගුවට ගන්නේ නෑ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට‍ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ය.

විජිත් මලල්ගොඩ, එල්.ටී.බී දෙහිදෙණිය හා පී පද්මන්සූරිය යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරන විමර්ශවලට සහාය දැක්වීමක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන් විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් 04 වැනි දා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

මේ අතර අද දින සිරිල් ගාමිණී පියතුමන් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී පියතුමන්ලා විශාල සංඛ්‍යාවක් අධිකරණ පරිශ්‍රය අසල රැදීසිටිනු දක්නට ලැබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23වැනි දා සූම් තාක්ෂණික සංවාදයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එම සංවාදයට එක්වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු.සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා පසුගිය 25වැනි දා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන ආරම්භ කර තිබේ.

2019 අප්‍රේල් 21 දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර එහිදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන, ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යට හෝටල් ප්‍රහාරයට ලක් විය. දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ.

ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *