දේශීය

කොවිඩ් පාලනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා – සෞඛ්‍ය ඇමති

කොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන් රජය කොවිඩ් පාලනයට එවැනි ඉහළම ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවක ජනතාව ඒ උදෙසා උපරිම දායකත්වයක් ලබා දිය යුතු බවත් ඔවුන් ලබාදෙන දායකත්වය මත කොවිඩ් පාලනය තීරණය වන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේ විවෘත කරන ලද වික්‍රමාරච්චි අක්ෂි විශේෂඥ ආයතනයට අනුබද්ධව “සීස් විෂන් සෙන්ටර්”(ZEISS VISION CENTER) ආයතනය ඊයේ (10) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

සංචරණ සීමා පැනවීම තීරණය කරනුයේ ද ජනතාව කොවිඩ් පාලනයට දක්වන දායකත්වය මත බවත් ඒ සඳහා ජනතාව අයහපත් තත්තවයක් පෙන්නුම් කළහොත් යළි එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාව කොවිඩ් පාලනයට ලබා දෙන ඉහළ දායකත්වය මත මෙම අවාසනාවන්ත තත්ත්වය රටින් තුරන් කළ හැකි යැයි ද ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව කොවිඩ් පාලනයේ යහපත් තත්ත්වයකට පැමිණි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇතැයි ද එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ ජීවත් වීමේ වටපිටාව ජනතාව සකසා ගතයුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය කොවිඩ් ව්‍යසනය ලෝකයටම අලුත් තත්ත්වයක් යැයි ද ඒ හා ජීවත් වීමේ වැඩපිළිවෙල ජනතාව විසින්ම සකසා ගතයුතු යැයි ද රජය කොවිඩ් පාලනයට මැදිහත් වීමෙන් ලබාදිය හැකි ඉහළම දායකත්වය ලබා දෙන්නේ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඉතා දීර්ඝ කාලයක් වසංගත තත්ත්වය පැවතියහොත් ආර්ථික ප්‍රශ්න මතුවිය හැකි බව ද ඒ තුළ බොහෝ පිරිසකට දුක් විඳීමට සිදුවිය හැකි බව ද කොවිඩ් පාලනය එනිසා සියලු ජනතාව එක්ව කොවිඩ් පාලනයට උපරිම දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී. එවැනි තත්ත්වයකට පත් නොවීමේ වගකීම ජනතාවගේ ක්‍රියා කලාප මත පදනම් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව පූර්ණ නිගමන ඉදිරිපත් කළ නොහැකි යැයි ද එහෙත් වසංගතයෙන් ප්‍රවේශම් වීම සෑම අතින්ම යහපත් තත්ත්වයක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. රටෙහි එන්නත්කරණය සිදු වන්නේ යම් යම් රටවලට අවශ්‍ය ආකාරයට නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පමණක් පදනම්ව යැයි ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *