වීරකුමාර, පියසිරි, රොජර් අත්අඩංගුවට ගැනීමට නියෝග
හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය.
2016 පෙබරවාරි 06වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මහජන පීඩාවක් ඇතිවන අයුරින් බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි විරෝධතා සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පවරා තිබුණි.
එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ලෙසයි.
එම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ ය.
මෙහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
මීළග නඩු විභාගය මාර්තු මස 07 වන දා පැවැත්වීමට නියමිතයි.