Latestදේශීයමතවාද

ජවිපෙ දේශපාලනය සහ දේශපාලන ප්‍රැක්සිසය

අද ජවිපෙ හා එදා රෝහණ විජේවීර අතර සම්බන්දය මට නම් වැටහෙන්නේ නැත. අද ජවිපෙ නියෝජනය කරන්නේ ලිබරල්-වාම හැඩයකි.(ලිබරල්-වාමවාදයට මගේ විශේෂ විරුද්ධත්වයක් නැත). ජවිපෙට අද ළංවී ආසිරි පතන නාගරික සිවිල් සමාජ තීරුව එදා විජේවීරගේ මරණ වරෙන්තුව ලියවා ගනිමින් සිටි කොටසකි. විජේවීරගේ දේශන වල මෙම තීරුවේ ප්‍රකට නියෝජනයන්ට ලුණු ඇඹුල් ඇතුව දෙසා ඇත.

අනෙක් අතට අද ජවිපෙ ධනේෂ්වරයට එරෙහිව සමාජවාදයක් වෙනුවෙන් මහජන මතවාද‍ය සංවිධානය කරන්නේ නැත. එහි උපායමාර්ගයක් ලෙස වූ අධිරාජ්‍ය විරෝධී ජාතික නිදහස පිළිබද කතිකාව ද අතහැර දමා ඇත. විජේවීර විසින් සූත්‍රගත කළ සමාජවාදය හා ජාතිකවාදය අතර සුසම්බන්ද කතිකාව අද ජවිපෙ නියෝජනය කරන්නේ නැත. සරලවම කිවහොත් ජවිපෙ අද සමාජවාදය හෝ දේශප්‍රේමී-ජාතිකවාදය යන දෙකම මහජන තලය තුළ වහරන්නේ නැත. ජවිපෙ අභ්‍යන්තර කේඩර ව්‍යූහය තුළ පමණක් සමාජවාදී භාෂා වතාවත් චායාත්මකව පවත්වා ගනී.

විජේවීරගේ ජාතිකවාදී කෑල්ල රාජපක්ෂය හා වීරවංශය වෙත ජවිපෙ විසින්ම ලියා දී ඇති නිසාත් අද ජවිපෙ වටා සිටින ලිබරල් සිවිල් සමාජ පිරිස් ජාතිකවාදය අනුමත නොකරන නිසාත් ඒ පාරේ යෑමට ජවිපෙට ධෛර්‍යයක් ද නැත.

අනෙක් අතට විජේවීර ගේ ප්‍රමුඛතම දේශපාලන අනුරාගය වූ මාඕවාදී සන්නද්ධ විප්ලවය අද ජවිපෙ නායකත්වය විසින් එක්කෝ ප්‍රසිද්ධියේම බැහැර කර සිටියි. නැත්නම් වට වංගු හරහා නිෂ්ප්‍රභා කරනු ලබයි. එම සන්නද්ධ උපායමාර්ගය නිසා මියගිය සොයුරන් පමණක් වාර්ෂිකව සමරනු ලබයි.

වත්මන් ජවිපෙ නායක අනුර කුමාර සහෝදරයා සිය ස්වරූපය හැකි තරම් විජේවීර ශෛලියෙන් ඈත් කර තැබීමට පරිස්සම් වෙයි. ඔහු ඇතුළු ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනයන් දෙස බැලූ විට විජේවීර ගේ න්‍යායික-දේශපාලන පෞර්ෂය ඉන් ප්‍රකට කෙරෙන්නේ නැත.

විජේවීර ගේ මතවාදී අගතීන් හා ගෝත්‍රික අපගමනයක් පිළිබද බරපතල විවේචනයන් අපට තිබුණ ද ඔහුගේ මතවාදී සමාජ සංවිධාන ක්‍රමය ඉතාම ආකර්ෂණීය විය. සමාජවාදයේ න්‍යායික-දේශපාලන දැක්ම ඈත ගම් දනව් කරා ගෙන යාමට තරම් ඔහු ශූර විය. ගමේ ආච්චිට පවා ‘දයලෙක්තික භෞතිකවාදය’ ගැන ප්‍රසිද්ධියේ හැගවීමට ඔහුගේ ප්‍රවේශයන් සමත් විය.

විජේවීරගේ ප්‍රසිද්ධ දේශනවල තත්කාලීන දේශපාලන මොහොත විග්‍රහ කිරීම සදහා මාක්ස්-ලෙනින්වාදී භාෂාව යහමින් යොදා ගනු ලැබීය. සිය දේශපාලන මූලෝපායන් ලාංකේය පොළවට සූත්‍ර ගත කිරීම සදහා පොත පත ලිවීය. න්‍යාය හා ප්‍රායෝගිකත්වය අතර ජනප්‍රිය ඒකත්වයක් ඔහුගේ දේශපාලන ශරීරය විසින් නියෝජනය කරනු ලැබීය. සමාජය සංවිධානය කිරීම සදහා න්‍යායන් උපායමාර්ගිකව සූත්‍ර ගත කිරීමත් එම අදහස් අදාළ බසින්ම ජනතාවට ජීර්ණය කරවීමත් ඔහුගේ නිර්මාණශීලී අත්හදා බැලීම විය.

එහෙත් අද ජවිපෙ ගමන් කරන්නේ එම මාවතේ නොවෙයි. සමාජවාදී ඉදිරි දර්ශනයක් ඊට අනන්‍ය  වූ ආකෘතියක් හරහා ජනතාවට සන්නිවේදනය කිරීමේ ක්‍රමය ජවිපෙ විසින් අතහැර බොහෝ කල්‍ ය. පොදු ජනයාට ධනවාදී සමාජ ක්‍රමය හා ප්‍රාග්ධනය පිළිබද සංයුක්ත අවබෝධයක් ලබා දීම ද ජවිපෙ විසින් මුළුමනින්ම පාහේ අත හැර ඇත. ජනතාව යනු මෙම විග්‍රහයන් තේරුම් කර ගත නොහැකි මෝඩයන් ලෙස පූර්ව විනිශ්චයක් ජවිපෙ නායක මණ්ඩලයට ඇති බව පෙනෙයි.

කෙසේ හෝ අද ජවිපෙ විජේවීර ක්‍රමයෙන් සපුරා වෙනස් මාවතක් අත් හදා බලමින් සිටියි. එහි කමක් නැත. ප්‍රශ්නය වන්නේ වසරකට වරක් දෙකක් විජේවීරගේ අවතාරය නැවත කැදවීමයි. මින් කන්ෆියුස් වන්නේ ජනතාවය. එම නිසා තමන් දැන් තෝරා ගත් මාවතේම ගමන් කරමින් ජයග්‍රහණ උරගා බැලිය හැකි දැයි සාවධාන වීම වඩා වැදගත් වේ.

එක්කෝ විජේවීර පරපුරේ උරුමයෙන් සිය ව්‍යාපාරය රැඩිකල් ලෙසම ඛණ්ඩනය වී ඇති ආකාරය ප්‍රදර්ශනය කළ යුතුය. එසේ නොවේ නම් විජේවීර පරපුරේ න්‍යායික-ප්‍රායෝගික මූලෝපාය යාවත්කාලීන පුනරාවර්තනයක් බවට පත් කළ යුතුය.

දේශපාලන ප්‍රැක්සිසයක පාඩම් ජවිපෙ ඉගෙන ගන්නේ කවදාද ?

විදර්ශන කන්නංගර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *