කල්‍යාණි රන් පිවිසුම හෙට ජනතා අයිතියට
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම හෙට (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙම නව කැලණි පාළම “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේදී පාලම ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කර එවකට ජනපති සහ මහාමාර්ග අමාත්‍යාවරයා ලෙස 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේ දී අදාළ ගිවිසුම් අත්සන් කර ඇත.
ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කර තිබේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.
කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇත.
පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය මත මෙම පාලම ඉදිකර තිබේ.
ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැලණි පාළම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සඳහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සඳහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.
මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගඟේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සඳහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සඳහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර නව කැලණි පාළම විදුලි ආලෝකකරණය කර ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේ.