දේශීය

ම්ලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම් ලබා දෙනවා – පකිස්තාන අගමැති සහතික වෙයි

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පාකිස්තාන අග්‍රමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ පිළිබඳව සඳහන් කර ඇති බවයි.

එසේම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බව ද පාකිස්තාන අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සැකකරුවන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස් සොයා සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි පාකිස්තාන අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබූ අතර එහි දැක්වුණේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා මේ පිළිබඳව දැනුම් දුන් බවයි.

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සඳහන් කළේ ඒ මහතාගේ සිරුර මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *