ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට
පකිස්තානයේ සියල්කොට් හීදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් රැගත් ගුවන් යානය අද (06) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිතය.
සිරුරු කොටස් රැගත් ගුවන් යානය අද පස්වරු 5.00ට ශ්‍රී ලංකාවට ළඟා වනු ඇත.
පකිස්තානයේ සියල්කොට්හි වසිරාබාද් මාර්ගයේ දී ප්‍රියන්ත කුමාර මහතා වධහිංසනයට ලක් කර ඝාතනය කිරීම මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පකිස්තාන රජය මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 230කට අධිකය.
අදාළ පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 13දෙනා ඊයේ (05) සියල්කොට් හීදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් අද ගුජරාට් ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, පකිස්තානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බවයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද ප්‍රියන්ත කුමාර මහතා පකිස්තානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11කට පෙරදී ය.
48 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සඳහන් කළේ, ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කරන බවයි.
මේ අතර ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සිදු වෙමින් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
පකිස්තානයේ සියල්කොට් හීදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහාතාට පහර දෙන අවස්ථාවේ ඔහුව ආරක්ෂා කිරීමට උපරිම උත්සහ ගත් පකිස්තානු ජාතික මලික් අද්නාන් නැමැති පුද්ගලයාට පකිස්තානයේ නිර්භීතකම සඳහා වන දෙවන ඉහළම සිවිල් සම්මානය ලබා දෙන බව පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් මහතා මේ බව සඳහන් කළේය.