Latestදේශීය

විමල්, වාසු, ගම්මන්පිල යුගදනවි ගිවිසුමට එරෙහිව තවත් ඉදිරියට

කෙරවළපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සහ එම බලාගාරයට ස්වභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ට පක්‍ෂව කරුණු දක්වමින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කරනු ලැබූහ.

එම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිය දී පෙත්සම්වලට පක්‍ෂව විරෝධතා ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

පිටු 59කින් සමන්විත නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කොට ඇති එම විරෝධතා මගින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ, මෙම ගිවිසුමට අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවයි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් වන බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ටෙන්ඩර් පත් කැඳවීමේ දී ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ටෙන්ඩර් පතක් ඉදිරිපත් කොට නොමැති බවත් එසේ තිබිය දී මෙම සමාගමට එම පැවරීම සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම සමාගම 2018 වසරේ දී ආරම්භ කළ සමාගමක් බවත් එය ගෑස් කළමනාකරණය පිළිබඳ කිසිදු අත් දැකීමක් නොමැති සමාගමක් වන බැවින් එවැනි සමාගමකට රටේ ගෑස් කළමනාකරණය භාරදීම රටේ ජාතික ආරක්‍ෂාවට ඉතා අහිතකර කරුණක් යැයි වගඋත්තරකාර අමාත්‍යවරුන් සිය විරෝධතා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජනබලවේගය හා වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණි.

මෙම අමාත්‍යවරුන් තිදෙනා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ දී ගත්තේ යැයි කියන තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයට එරෙහිව විරෝධතා ගොනු කළ පළමු අවස්ථාව ද මෙය ලෙස සැලකෙයි.

මෙම පෙත්සම් ලබන 16 සහ 17 වැනි දා සලකා බැලීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *