දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය අද (09) ට යෙදී තිබේ.

ඊට සමගාමීව නිලධාරීන් 84 දෙනෙකුට සහ විවිධ අංශවලට අයත් නාවිකයින් 1,684කට උසස්වීම් ලබා දී ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත එම උසස්වීම් ලබාදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අද සහ හෙට (10) ගාලුමුවදොර ඉදිරිපස නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව ද නාවික හමුදාව පවසයි.

71 වන සංවත්සරයට සමගාමීව, කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කෙළඹියාව ප්‍රදේශයේ නාවික හමුදා මුල්‍ය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම ද අද වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.

දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන නාවික හමුදාව 1937 අංක  01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනතින් බ්‍රිතාන්‍යයන් විසින් දෙවන ලෝක යුද සමයේ ඔවුන්ගේ යටත් විජිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිපත්තීමය තීරණයකට අනුව “ලංකා ස්වේච්ඡා නාවික හමුදාව” ලෙස මෙරට ප්‍රථම වරට ස්ථාපිත විය.

1950 දෙසැම්බර් මස 09 වන දින 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කරමින් ස්ථාපිත වූ “රාජකීය ලංකා නාවික හමුදාව” 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමත් සමග, 1972 වර්ෂයේ මැයි මස 22 වන දින “ශ්‍රී ලංකා නාවික හමුදාව” ලෙස පරිවර්තනය විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *