Latestදේශීය

අනුමත කළ ගෑස් සිලින්ඩර් පමණක් නිකුත් කිරීමට අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කර තිබේ.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් වෙළඳපොළට නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝග මගින් පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙස ද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබීය.

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.

අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය එය ජනවාරි මස 26 වන දා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන 20 වන දා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ (16) දින පැවතුණු බව සඳහන් කර ඇත.

එම රැස්වීමේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු “ප්‍රොපේන්” සංයුතිය සියයට 30ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයා දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *