දේශීය

ගෑස් විශේෂඥ කමිටු වාර්තාව අද ජනපතිට

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසදුම් සෙවීමට පත් කළ ජනපති කමිටුවේ වාර්තාව අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතය.

අද දවස තුළ එම කටයුත්ත සිදුවනු ඇති බවයි කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කළේ.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුවක් පසුගියදා පත් කෙරුණේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් ය.

එහි සෙසු සාමාජිකයින් ලෙස,

  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,
  • මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්,
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක,
  • මහාචාර්ය ප්‍රදීප් ජයවීර,
  • ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු,
  • කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි,
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරුන් කටයුතු කළේය.

මේ අතර අද සිට ගෑස් සිලින්ඩර් 50,000ත් 60,000ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව මෙට්ට්‍රික් ටොන් 800ක් එලෙස වෙළෙඳපොළට මුදා හැරෙන බවයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

නිකුත් කෙරෙන සියලු සිලින්ඩර්, නිසි ප්‍රමිතියෙන් යුතු බවට තහවුරු කරන ලද නව ස්ටිකරයකින් ද සමන්විත බව ඔහු පැවසුවේ ය.

අවස්ථා රැසක දී සිදුවන පරීක්ෂා කිරීම් හේතුවෙන් ගෑස් නිකුත් කිරීමේ සුළු ප්‍රමාදයන් ඇති විය හැකි බව ද තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *