දේශීය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙනත් ස්ථානයකට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එම අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී මේ පිලිබඳව සාකච්ඡා කර තිබේ.

එම රෝහලේ භූමියේ ඉඩ පහසුකම් නොමැති වීම, රෝහලේ පවතින අධික තදබදය සහ මුහුදු සීමාවේ පැවතීම යන හේතුන් මත මෙම දිස්ත්‍රික් මහ රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය යොමු කර ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මෙහි වසර 100ක් ඉක්මවූ ගොඩනැගිලි කිහිපයක් ද තිබෙන අතර පවතින තත්ත්වය මත එහි තවදුරටත් ඉදිකිරීම් සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව මෙහිදී අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ සඳහා ජයිකා ව්‍යාපෘතිය යටතේ රු. බිලියන 2.2ක් හිමි වී ඇති බවයි.

ඒ අනුව නව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල, ත්‍රිකුණාමලය සද්ධාපුර ප්‍රදේශයට ගෙන යාමට අවධානය යොමු වී තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙම රෝහලට අමතරව මූලික රෝහල් 04 ක් ද, ප්‍රාදේශීය රෝහල් 14ක් හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 17ක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතියට මූල්‍යමය ආධාර වෙන් වී ඇති බැවින් කඩිනමින් එහි කටයුතු ආරම්භ කළ යුතු බවයි.

එමෙන්ම ජනතාවට කඩිනමින් සෞඛ්‍ය සේවාවන් ලබා දිය හැකි වන පරිදි මෙය අදියර තුනක් යටතේ ඉදි කිරීමට සැලසුම් කිරීම වඩාත් සුදුසු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *