දේශීය

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය හෙට ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට (18)  විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදු කිරීමට නියමිතය.

ඉතා චාම් ආකාරයෙන් මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ.

හෙට පෙ.ව. 9.15ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදු වන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය ඉන් අනතුරුව සිදු වනු ඇත.

එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතය.

ඉන් පසුව වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී, සහකාර වේත්‍රධාරීවරයා, කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ඇත.

එහිදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී සිසු සිසුවියන් විසින් ජය මංගල ගාථා ගායනා කිරීමට ද නියමිතය.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකරන අතර ඉන්පසු සභාව කල්තැබීම සිදුවෙයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *