දේශීය

සපුගස්කන්ද විදුලි ජනනය නවතී

දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

අද (18) පස්වරු 5.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මීට හේතු වී ඇත්තේ එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැති බව වාර්තා වේ.

ඒ අනුව අද සවස 5.00 සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇත.

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ මේ හේතුවෙන් අද සිට රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බවයි.

මේ අතර තත්ත්වය මෙසේ තිබිය දී විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් එළඹී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *