ජුබිලිකණුවේ සිනමාව – ලාංකික සිනමා කර්මාන්තයේ දේශපාලන ආර්ථිකය
හැදින්වීම
පැහැදිළිවම ලංකාවේ සිනමා සංස්කෘතියක් ඇත. සිනමාව පිළිබඳව බරපතළ උනන්දුවක් දක්වන නිර්මාණ ශිල්පීන්, සිනමා සංවාද, රසික කව, ශාස්ත්රාලීය උනන්දුව ආදී කලා සංස්කෘතික තත්ත්වයක් කවදත් ලංකාවේ පැවතින.
නමුත් අද වනවිට ලංකාවේ සිනමා කර්මාන්තයක් පවතීද යන්න ගැටළුවකි. මෑත දශකයකට වඩා වැඩි කාලයක සිට ලාංකික සිනමා කර්මාන්තයේ දේශපාලන ආර්ථිකය සාරාංශගත විශ්ලේෂණයකට ලක්කිරීම මේ විග්රහයේ ඉලක්කයයි.
සිනමාව පමණක් සිය ජීවන වෘත්තිය කරගෙන යැපෙනා අධ්යක්ෂවරුන්, නිෂ්පාදකයින්, රංගන හෝ කාර්මික ශිල්පීන් නොමැති තරම්ය. අධ්යක්ෂවරුන් ලෙස ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, සංජීව පුෂ්පකුමාර මා දන්නා තරමින් පූර්ණ ලෙස යැපෙන්නේ සිනමාවෙනි. අනෙකුත් සාතිශය බහුතරය යැපෙන්නේ වෙළෙඳ දැන්වීම්, වාර්තා වැඩසටහන් හෝ රූපවාහිනී ටෙලි කර්මාන්තය ආදියෙනි. එවිටම අපිට ‘ වෘත්තිය සිනමා ශිල්පීන් ‘ ලෙස ආර්ථික අර්ථයකින් කර්මාන්තය හදුනාගත නොහැක. මෙය පූර්ණ ලෙසම අවවර්ධිත හෝ ඌණසංවර්ධිත (underdeveloped) තත්ත්වයකි.
ලොවපුරා සිනමාව විකල්ප වේදිකා (alternative platforms) හරහා ප්‍රසාරණය වන්නේ සිනමාශාලා වසා දමමින් නොවේ. ඇමරිකාව, චීනය, ඉන්දියාව , කොරියාව ආදී ලොව විශාලතම සිනමා කර්මාන්ත සැලකුව ද දත්ත ලෙසම සිනමා ශාලා ප්‍රමාණය වසරින් වසර ඉහළ යයි. නමුත් ලංකාවේ තත්ත්වය පැවතුනේ ප්රතිලෝමවය. ලංකාවේ සිනමාවේ කර්මාන්තමය අර්බුදය කොවිඩ් වසංගතය හරහා පමණක් කිසිසේත්ම අර්ථ නැංවිය නොහැකි අතර එය දිගුකාලීන ගැටළුවකි. ඇතැමුන් දේශීය සිනමාවේ රිදී ජුබිලියේ සන්ධිස්ථානය සමරණ 2022 ජනවාරියේ, එනම් මේ මොහොතේ, පවතින කර්මාන්තයේ වාස්තවික තත්ත්වය සූත්රගත කරන්න දැන් උත්සාහ කරමු.
සුබසාධන සංස්කෘතික කර්මාන්තයේ අවසානය
සිනමා කර්මාන්තයේ අර්බුදය පිළිබඳව ඓතිහාසිකව සිදුවූ සුප්‍රකටම සංවාදය වන ඩී.බී නිහාල්සිංහ හා තිස්ස අබේසේකර අතර වූ අදහස් අධ්‍යයනයේදී පැහැදිළිවම පෙනී යන දුර්වලතාව වන්නේ ඔවුන් දෙදෙනාම කර්මාන්තයේ වූ මූලික මූලධාර්මික දේශපාලන – ආර්ථික සාධකයක් මගහරිනා බවයි. එනම් මුලදී රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ලෙස ඇරඹි අද ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස සලකන ආයතනය, සමගි පෙරමුණු ආණ්ඩුවේ සුබසාධන රාජ්‍ය (welfare state) ආකෘතියේ අරමුණු පෙරදැරි කරගෙන ආරම්භ විය. ඉන්පසුව සියල්ලෝ මූණ දුන්නේ ජනප්‍රිය අරුතින් ‘ විවෘත ආර්ථිකය’ ලෙස හදුන්වන ගෝලීය ප්රාග්ධනය සංචලනයට ජාතික ආර්ථිකය නිර්බාධීකරණය නිළ වශයෙන් සිදු වූ පසුව ඇති වන සංකීර්ණත්වයටයි. මෙය තිස්ස හා නිහාල්සිංහගේ විශ්ලේෂණයන්හි පවතින දුර්වලම අක්ෂයයි. එනම් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති විවෘත ආර්ථිකය තුළ සදාචාරයකට ඌනනය කර සාකච්ඡා කිරීමයි . සැබැවින්ම චිත්‍රපට කර්මාන්තයේ ගැටළුව කුමක්ද ?
එක් අතකින් ජනරජ ව්‍යවස්ථාවෙන් පවා බටහිර යුරෝපීය සුබසාධන අර්ථයෙන් ‘ සංස්කෘතික කර්මාන්තයක් ‘ ලෙස කලාත්මක කර්මාන්ත නිළ වශයෙන් සලකුණු වීමක් සිදු වී නැත. නමුත් නොනිළ ලෙස 1972 රාජ්‍ය චිත්‍රපට පනත කෙටුම්පත් කල දා සිට 1977 වන තුරු සිනමාවේ ඊනියා ස්වර්ණමය යුගය තුළ සුබසාධන ආකෘතිය ක්රියාවේ යෙදවීමට උත්සාහ ගත් අතර එය කිසියම් දුරකට සාර්ථක ද විය. එමගින් රාජ්‍ය විසින් කලාව තරගකාරී වෙළෙඳපොළ ලාභය මත තීරණය වන කර්මාන්තයක් වෙනුවට සංස්කෘතික වගකීමක් රජය දැරිය යුතු ක්ෂේත්රයක් ලෙස නොනිළ ලෙස ( ව්‍යවස්ථාපිත පිළිගැනීමකින් තොරව ) පිළිගන්නාලදී.
ඒ හරහා බැංකු ණය ක්‍රම, බදු සහන, රාජ්‍ය අනුග්‍රහය ආදි සුබසාධන සහන චිත්‍රපට කර්මාන්තයට එකතු කෙරින. නමුත් රටේ සමස්ත ආර්ථිකය හරහා රාජ්‍ය ප්‍රාග්ධන සංචිත හා සසදන විට මීට දිගුකාලීන සැලැස්මක් සමගි පෙරමුණු ආණ්ඩුවට නොතිබින. අවසානයේ සහශ්රකය වනතුරු ලබා දුන් ණය බොහෝමයක් අවභාවිත වී බොල් ණය ලෙස කපාහරින්නට සිදු වූ අතර අවසානයේ සිනමාව බැංකු අතර කළු ලයිස්තුගත ක්ෂේත්රයක් විය. මෙය ‘ ඊනියා ස්වර්ණමය යුගය ‘ ලෙස හැදින්වූයේ මේ කෙටිකාලීන දුර්වල සැලසුම අද දක්වා ව්‍යාජ ලෙස උත්කර්ෂයට නංවනා දෘෂ්ටිවාදය පිළිබඳව සංවේදීවය.
රාජ්‍ය විසින් නිළ වශයෙන් සාර්ව ආර්ථිකයේ විවෘත තරගකාරී ධනේශ්වර වෙළෙඳපොළ අනුමත කල ද ඊට අනුගතව ජාතික චිත්‍රපට සංස්ථාව පරිනාමය නොවූ අතර එතැන් පටන් මාසිකව මිලියන කිහිපයක හිගයක් සහිතව රාජ්‍ය භාණ්ඩාගාය හරහා නඩත්තුවන පාඩු ලබන ආයතනයක් බවට ජා.චි.ස පත්වී ඇත. නිහාල්සිංහ විසින් පව්කාරයා ලෙස ඇන්ටන් වික්රමසිංහව කුරුසියේ නැංවීමට නම් කල ද තත්ත්වය ඊට වඩා සංකීර්ණ දේශපාලන විපරිනාමයකි.
එතැන් පටන් දශක හතරක් තිස්සේ දැන් ඇහෙන්නේ එකම අදෝනාවය. ඒ සංස්ථාවෙන් ඊට ආර්ථික ලෙස දැරිය නොහැකි සුබසාධනයක් ඉල්ලා හඩා වැටෙනා සිනමා ශිල්පීන් හා ව්‍යවසායකයන්ය. සහශ්රකය වන විට තිස්සගේ සංස්ථා සභාපතීත්වය යටතේ කමිටු වාර්තාවක් අනුව යමින් 2001 වසරේ සිට චිත්‍රපට බෙදාහැරීම පුදගලීකරණය කල අතර ඒ හරහා බලාපොරොත්තු වූ සිල්ලර සුබසිහින වෙනුවට ඉතුරු වූයේ අද පවතින චිත්‍රපට කර්මාන්තයයි ( ? ).
අවසාන දශක දෙකෙහි කර්මාන්තය හැසිරවූයේ චිත්‍රපට බෙදාහරින්නන් විසිනි. ප්‍රතිපත්ති සම්පාදකයන් සුබසාධනය වෙනුවට වෙළෙඳපොළ තෝරාගත් අතර එය නැවතුනේ බෙදාහරින්නන්ගේ කතිපයාධිකාරීත්වයකිනි (oligoply). චිත්‍රපට සමාගම් විසින් සිනමාව සංස්කෘතික කර්මාන්තයක් ලෙස කෙදිනකවත් ලොව කොතැනකවත් සලකන්නේ නැති අතර එය නියාමනය විය යුත්තකි. දෙවෙනි ලෝක සංග්රාමයෙන් පසුව මාගරට් තැචර්, ජෝන් එෆ්. කෙනඩි වැනි ධනේශ්වර පාලකයන් ක්රියාවේ යෙදවීමට උත්සාහ කල සුබසාධන රාජ්‍ය ආකෘතිය හරහා ධනේශ්වරයේ කේන්ද්‍රීය රටවල සුබසාධන රාජ්‍ය ක්‍රමය අභ්‍යාස කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිනමාව ‘ සංස්කෘතික කර්මාන්තයක් ‘ ලෙස හදුනාගැනින. ලංකාවේ දරාගත නොහැකි වූ සුබසාධන ආකෘතිය වාෂ්ප වී ගිය තැන ඉතිරි වූයේ ‘ buying and selling ‘ ක්‍රමයයි. ඒ විදෙස් චිත්‍රපට ගෙන්වීම හා ප්‍රදර්ශනයයි. අදටත් සිනමාව මෙතරමින් හෝ පවතින්නේ මේ ඌණසංවර්ධිත පරිභෝජනවාදී පදනමෙනි.
එනිසාවෙන් නිළ වශයෙන් තිස්ස අබේසේකරගේ අත්සනින් ක්රියාවේ යෙදවූ චන්ද්‍රිකා ආණ්ඩුවේ චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණ තීරණයෙන් පසුව ලංකාවේ සිනමාව පරිභෝජන භාණ්ඩයකට හා සේවාවකට ඌණනය විය. දැන් සිනමාව යනු අනෙක් ඕනෑම භාණ්ඩයකට හෝ සේවවකට අත් වූ ඉරණම අත්වූ කලාපයකි. එනම් ගෝලීය නිෂ්පාදන පරිභෝජනය වන්නේ නම් ඊනියා ප්‍රමිතිය පවතී. සිනමා ශාලාවක ප්‍රමිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඒ ශාලාව ගෝලීය සිනමාව පෙන්විය යුතුමය. බෙදාහරිනා සමාගමක් ලාභ ලබා ප්‍රසාරණය වීමට නම් ගෝලීය චිත්‍රපට ආනයනය කල යුතුමය.
චිත්‍රපටයක් ‘ උසස් ‘ ( ?) ප්‍රමිතියෙන් නිමවිය යුතු නම් එහි නිෂ්පාදනය ගෝලීය ප්රාග්ධනය ආයෝජනයක් ලෙස දායක කරගත යුතුමය. කර්මාන්තමය අර්ථයකින් දේශීය ප්රාග්ධනය හරහා පමණක් සිනමාවේ පැවැත්මක් නැති වී ඇති අතර දේශීය ප්රාග්ධනය මත නිමවන ඕනෑම සිනමා නිෂ්පාදනයක් හෝ සේවාවක් ප්‍රමිතියෙන් පහළ වීම නොවැලැක්විය හැකි වී ඇත. අවසාන අර්ථයකින් සිනමාවේ සුබසාධන දේශපාලන අර්ථය පරාජය වී සිනමාව ධනේශ්වර පරිභෝජනවාදී අර්ථයක් දක්වා ඌණනය වී ඇත.
උපමහද්වීපික පරිවාරයක සිනමා කර්මාන්තයක් යනු ?
වානිජ අර්ථයකින් සිනමාව සිය ප්‍රමුඛතම ආදායම බවට පත්කරගත් බෙදාහරින්නන් හෝ ප්‍රදර්ශකයින් ( සිනමා ශාලා හිමියන් ) සිටින්නේ නම් ඒ කුඩා පරිමානයෙනි. Movie Works ( ප්‍රකට Lite Cinema සමූහය ) සමාගම හා Scope Cinema සමූහය මෑතකාලීනව බිහි වූ එකම ශක්තිමත් දේශීය සිනමා ප්‍රදර්ශක ජාලාවන්ය. Ceylon Theatres සමාගමේ ප්‍රධාන ආයෝජන පවතින්නේ සුපිරි වෙළෙඳ සැල් ජාලා මත වන අතර EAP සමාගම ද පවතින්නේ වෙනත් ක්ෂේත්‍ර කීපයක පුරුකක් ලෙසිනි. සිනමාවෙන්ම පමණක් පවතින ශක්තිමත් සමාගම් ඇත්තේ කිහිපයකි.
මීට අමතරව දකුණු ඉන්දියානු PVR සමාගම (දැනට One Gallefce Mall හි හා නිමවීමට නියමිත Odel Mall වෙළෙඳ සංකීර්ණයේ ඔවුන්ගේ පොකුරු සිනමා ශාලා – Multiplex – ඇත.) ඉන්දියාවෙන් එපිට ප්‍රථම ආයෝජනය ලංකාවේ සිදුකර ඇත. නමුත් සුපිරි වෙළෙඳ සංකීර්ණ හෝ මහල් සුපිරි නිවාස සංකීර්ණ තුළ ඉදිවන බොහෝමයක් පොකුරු සිනමාශාලා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට ( BOI ) අනුබද්ධ ව්‍යාපෘති නිසාවෙන් දේශීය තිරකාලය ආදී තීරණාත්මක කර්මාන්තමය රෙගුලාසි අදාල නොවේ. පොකුරු සිනමා ශාලා ලෙස ඔවුන් තිර ගණනාවක චිත්‍රපට ප්‍රදර්ශනය කරනා විට දේශීය තිරකාලය සදහා වෙන්වන ප්‍රතිශතය බෙහෙවින් සීමිතය. උදාහරණයකට , ශාලා සංකීර්ණයක තිර 6 ක් ඇති පොකුරු සිනමා ශාලාවක එක් තිරයක දිනකට දර්ශනවාර 5 ක් ප්‍රදර්ශනය වන්නේ නම් ශාලා 6 ට දිනකට දර්ශනවාර 30 කි. මින් දේශීය ( බොහෝවිට සිංහල භාෂිත ) චිත්‍රපට සදහා වෙන්වන්නේ දර්ශන වාර 3 ක් පමණය. ඇතැම්විට ප්‍රකට ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයකට මේ අවස්ථාව මීට වඩා වැඩි විය හැක.
දැනට ලංකාවේ මෙවැනි පොකුරු සිනමා ශාලා 6 ක් පමණ ඇත. ඒ මරදාන සිනෙසිටි (තිර 3) , බම්බලපිටිය මැජෙස්ටික් (තිර 5) , කොල්ලුපිටිය ලිබර්ටි ස්කෝප් සිනමා (තිර 2), කොළඹ CCC මෝල් හා මහල් සංකීර්ණයේ ස්කෝප් පොකුරු සිනමා ශාලාව (තිර 6) , කොළඹ One Galleface මෝල් සංකීර්ණයේ PVR ඉන්දියානු පොකුරු සිනමා සංකීර්ණය (තිර 9) , යාපනය කාගිල්ස් චතුරශ්‍ර (තිර 3) හා මහනුවර KCC සිනමා සංකීර්ණය (තිර 3) යි.
අගනගර කේන්ද්‍රීයව මෙසේ පොකුරු සිනමා තිර වර්ධනය වෙද්දී උප නගර හෝ අර්ධනාගරික ප්‍රදේශයන්හි නව ශාලා බිහිවන්නේ වෙළෙඳ සංකීර්ණ තුළ කුඩා පරිමාන සිනමා ශාලා (Mini – Theatres) ලෙසය. ලයිට් සිනමා සමූහයේ මැක්ස් ලයිට් මොරටුව, විස්ටා ලයිට් ජා ඇල, ඇමිටිලයිට් මහරගම ආදී ශාලා බොහෝමයක් මේ ආකෘතිය ගනී. සිටි සිනමා ගල්කිස්ස, දොන් ප්ලාසා කළුතර, ස්කයි ලයිට් මාලඹේ තවත් උදාහරණ කීපයකි. පශ්චාත් යුද කාලීන, මෑත දශකයකට වැඩි කාලයක ලංකාවේ සිනමා කර්මාන්තයේ චිත්‍රපට ප්‍රදර්ශන ආකෘතිය මෙසේ සංකීර්ණ පරිවර්තනයකට ලක්ව ඇත. පැරැණි ප්‍රමාණයෙන් විශාල ශාලා වැසී ගොස් අතහරින ලද ගොඩනැගිලි ලෙස ( විජිත රත්මලාන , නිව් ඔලිම්පියා මරදාන, ක්වීන්ලන් නුගේගොඩ වැනි) තාමත් රට පුරා බොහෝ නගර තුළ අවතාරමය ආකාරයෙන් පවතී.
විවිධ හේතු මත මේවා වෙනත් ආර්ථික කටයුත්තකට හෝ නොයොදවා වල්වැදී පවතී. ඒවා ප්රතිසංවර්ධනයට එම පුද්ගලික හිමිකාරිත්වයට බොහෝවිට නොහැකි අතර පැහැදිළි ලෙස සිනමා කර්මාන්තයේ එක් යුගයක කේවල ආයෝජකයන් සම්පූර්ණයෙන් පාහේ කර්මාන්තයෙන් බැහැර වි ඇත. NIT, CT ආදී පැරණි සමාගම් කීපයක් තාමත් අරගලයක යෙදුන ද බොහෝ පුද්ගලික සිනමා ශාලා හිමිකරුවන් ශාලා නවීකරණයට හා නඩත්තුවට අවශ්‍ය පිරිවැය දැරිය නොහැකි නිසාවෙන් ශාලා වසා දමා ඇත. සුබසාධන රාජ්‍ය ආකෘතියක් තවදුරටත් වලංගු නොවනා තත්ත්ව යටතේ ඔවුනට බැංකු ණයක් හෝ ලබාගැනීමේ හැකියාවක් නොපවතී.
2021 වසර අග වනවිට සිනමා ශාලා ලෙස සලකතොත් ශාලා 155 ක් පමණ ලංකාවේ සක්‍රියව ක්‍රියාත්මක වූ අතර තිර ලෙස 190 ක් පමණ ඇත. කොවිඩ් වසංගතය නිසා ශාලා 25 ක් පමණ වැසී ගිය අතර 40 ක් පමණ තාක්ෂණික ගැටළු නිසා අක්‍රිය වී ඇති බවට ප්‍රදර්ශකයන්ගේ සංගමය කරුණු දක්වයි. රජය විසින් තාවකාලිකව විනෝද බද්ද ඉවත් කර ඇති අතර 2021 දෙසැම්බර් මස සිට සිනමාව කර්මාන්තයක් ලෙස වර්ගීකරණයෙන් ප්‍රදර්ශකයින්ට සැලකිය යුතු සහනයක් හිමි වී ඇත. සමස්තයක් ලෙස ලංකාවේ ජනගහනයට සමාන ඉන්දියාවේ බොම්බේ නගරයේ සිනමා තිර 3500 ක් පමණ ඇත. ඒ අනුව පරතරය බරපතළ බව වැටහෙනු ඇත. ක්‍රමයෙන් සිනමාවේ එක් එක් ක්ෂේත්‍ර මෙසේ කේවල ආයෝජකයන්ගේ පැවැත්ම අහෝසි වී දේශීය සමාගම් හා බහුජාතික ආයෝජන පමණක් පවතින කර්මාන්තයක් බවට පරිනාමය වෙමින් තිබේ.
මළයාලම් – Netflix සිහින කුමර කුමරියන්
රජකතා රැල්ල හරහා දේශපාලන සිනමා දශකයක් ගෙවා දැමූ (2008 ‘ අබා ‘ චිත්‍රපටයේ සිට) ප්‍රධාන ධාරාවේ ‘ සිංහල සිනමාවේ තේමා ‘ දැන් නැවතත් විකේන්ද්‍රීය වී ඇත. රාජපක්ෂවාදී දෘෂ්ටිවාදයට පිංසිද්ද වන්න ගෙවූ ඒ දේශපාලන රැල්ල සංකේතීයව ජුබිලිකණුවේ ‘ හූ ‘ හඩ සමග ස්මාප්තියක් කරා ලගා වී ඇත. දැන් ප්‍රධාන ධාරාවේ සිනමාව තේමාත්මකව පුද්ගලවාදයේ නරුමවාදය කරා ගමන් කරමින් තිබේ. ‘ ප්‍රවේගය’ (2015) චිත්‍රපටය අර්චනකාමී පාරිභෝගික වස්තුවක් වටා ද ‘ ධර්මයුද්ධය ‘ (2017) පවුල වෙනුවෙන් හිංසනය සුජාතකරණය හරහා ද ‘ ජංගිහොරා ‘ (2021) තුළින් ලිංගික විපරීතත්වය සාමාන්‍යකරණය හරහා ද මෙය කොතෙකුත් සලකුණු කල හැක. අවසාන මහා අනේකත්වය ලෙස සිනමාවේ ජාතිකවාදය අපිට ඉතුරු කර ගොස් ඇත්තේ ආත්මීය හිංසනය නම් ප්රබේධය පමණි.
විකල්පය හෝ කලාත්මක සිනමාව සමාජ දේශපාලන තේමාවක් ලෙස අධිපති මායිම් ගම්මානකරණය අවසන් කොට දැන් පුද්ගල සාරය කරා ගමන් කරමින් සිටී. එක් අතකින් නව මලයාලම් සිනමා රැල්ල ලංකාවේ තරුණ පරම්පරාවකට විකල්ප බලාපොරොත්තුවක් ලබා දී ඇත. ඔවුන් සෞන්දර්යාත්මකව මලයාලම් සාරයක් අත්විඳින අතර කර්මාන්තමය සිහිනය Netflix ආකෘතියේ වේදිකාය. සිනමාව වැනි දැවැන්ත ප්‍රාග්ධනයක් සමග ගනුදෙනු කරනා කලාවක් සලකන විට ලංකාව වැනි රටකට අන්තර්ජාල නව වේදිකා නැරඹුම් ප්‍රේක්ෂකත්වයක් (Online Platforms viewship) ගොඩනගා ගැනීමට ඇති ඉඩ කොපමණද යන්න බරපතළ ගැටළුවකි. සුප්‍රකටම Netflix සැලකුව ද ඊට ලංකාවේ චිත්‍රපට තුනක් පමණ මේ වන විට තේරී යළි ඉවත් වී ඇති අතර ඒවා සැලකියයුතු ආදායමක් ලැබීද ? ඒ හරහා යම් දොරටුවක් විවෘත වී ඇත්ද ? මා දන්නා පිළිතුර ‘ නැත ‘ යන්නයි. මගේ තක්සේරුව අනුව එවැන්නකට ඇති ඉඩ ඉතා අවමය. ඉන්දියාව වැනි Netflix හි සාර්ථක වූ රටවල් හා ලංකාව සංසංදනය විහිලුවකි. Netflix, Disney Plus, Amazon Prime වැනි සමාගම් යනු හොලිවුඩ් ආකෘතියේ තවත් අධිපති ප්‍රධාන ධාරාවේ ඒකාධිකාරයක් කරා යමින් සිටිනා සමාගම් මිස ලංකාවට බලාපොරොත්තු තැබිය හැකි අවකාශ නොවේ. ඒවා තුළ එක් චිත්‍රපටයක් හෝ පුද්ගලයෙක් සාර්ථක විය හැකි නමුත් ලංකාවේ සිනමා නිෂ්පාදනයේ අනාගතයක් ලෙස ඒවා සැලකීමට ඉතා අසීරුය.
මිලියන කිහිපයක පිරිවැයක් දරා නිමවන අවම කලාත්මක චිත්‍රපටයක් වූව ද ලංකාවේ සිනමා ශාලාවල තිරගත කිරීම්, රුපවාහිනී හෝ අනෙකුත් අයිතීන් හරහා පවා ලබනා අදායමෙන් පිරිවැය පියවා ගැනීම හෝ උභතෝකෝටික වී ඇත. ප්‍රධාන ධාරාවේ සිනමාව සැලකිල්ලට ගත්ත ද මිලියන 30 ඉක්ම වූ චිත්‍රපටයක් යනු ඉතා අවදානම් ආයෝජකයක් බවට පත්ව ඇත. දේශීය චිත්‍රපට සදහා දැනට වෙන් වූ ශාලා 75 කින් පමණ ඉතුරු චිත්‍රපටවලට සමාන්තරව තිරගත කර පිරිවැය පියවා ගැනීම යනු මාරාන්තික අරගලයක් වී ඇත. මුදල් විශුද්ධිකරණය හෝ නිෂ්පාදන බදු සහන නොතිබෙන්නට දැනට නිර්මාණය වූ චිත්‍රපට හෝ නිම නොවනු ඇත. තිත්ත ඇත්ත එයයි. සිනමාවේ ජුබිලි කණුව එයයි.
ඕනෑම රටක සිනමා කර්මාන්තයක ප්‍රධාන අංශ වන නිෂ්පාදනය, බෙදාහැරීම , ප්‍රදර්ශනය හා ආයෝජනය යන්නෙන් විශේෂයෙන් බෙදාහැරීම සදහා නියාමනයක් රජය මූලිකව ගෙන ආ යුතු බව මේ දක්වා සිනමා කර්මාන්තයේ සක්‍රීය පාර්ශවයන්ගේ ඒකමතික ඉල්ලීමයි. නමුත් කොටසකින් පමණක් මේ ගැටළුව විසදිය නොහැක. ඊට සමස්ත සිනමා කර්මාන්තය ඉලක්කගත සැලසුමක් පදනම්ව 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ශේෂ වූ , තාමත් පවතින, අදට වලංගු නොවනා චිත්‍රපට පනත සංශෝධනය විය යුතුමය. එහිදී අප සමස්ත සිනමාව අර්ථනංවනා වපසරිය මත ලංකාවේ සිනමාවේ අනාගතය තීරණය වනු ඇත.
කිසිසේත්ම නැවත වරක් සිනමාව පූර්ණ සුබසාධන ආකෘතියකට ගමන් කල නොහැක. එසේම පූර්ණ තරගකාරී වෙළෙඳපොළට විවෘත කරන්නේ නම් ලංකාව වැනි රටක ‘ ජාතික සිනමාව ‘ (? ) බරපතළ අර්බුදයකට යාම නොවැලැක්විය හැකි වනු ඇත. සිනමාව දැනටමත් 2001 සිටම තරගකාරී වෙළෙඳපොළකි. ඉන් අත් වූ ප්‍රතිඵලය රිදී ජුබිලියේ අපේ දෙපා ඉදිරිපිට ඇත. කළ යුත්තේ නියාමනයක් බව සුපැහැදිළිය. ගැටළුව වන්නේ පෞද්ගලික ප්රාග්ධනය සහිත ධනේශ්වර ආයෝජකයන්ට රාජ්‍ය විසින් සීමා නීර්ණය කිරීමේ ධනේශ්වර සදාචාර පරස්පරයයි. මේ විරුද්ධාභාෂය ( parafox ) විසදීම කල නොහැක්කකි. කල යුත්තේ රාජ්‍ය කලාව සංස්කෘතික කර්මාන්තයක් ලෙස නම් කර එය අර්ථ නංවා ගැනීමයි. ඊට ගෝලීය පූරවාදර්ශ විමර්ශනය කල හැක. රාජ්‍යයත් සිනමාව නම් සංස්කෘතික කර්මාන්තයේ කොටස්කරුවකු විය යුතුව ඇත.
පෞද්ගලික අංශය අවම නියාමනය තුළ රදවා රාජ්‍ය ආදායමක් බවට සිනමාව පරිවර්තනය කොට එමගින් ලැබෙනා ආදායම සිනමා සංස්කෘතික අරමුණු කෙරෙහි යෙදවීම හැර ඇත්තේ ධනේශ්වර අර්ථයකින් විකල්ප දෙකක් පමණි. එනම්, නැවත අසාර්ථක සුබසාධන ක්රමයම උත්සාහ කල හැක. නැත්නම් පූර්ණ තරගකාරී වෙළෙඳපොළට සිනමාව බාරදිය හැක. කොමියුනිස්ට් විප්ලවයක් පරිකල්පනයට වඩා ලෝක විනාසය පරිකල්පනය පහසු යුගයක මේ ප්රශ්නය මීට වඩා බැරෑරුම් නොකල යුතුය.
බූපති නලින් වික්‍රමගේ
ආශ්රිත :
1 ) නිහාල්සිංහ , ඩී. බී. ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ බිදවැටීම. 2007.සරසවි ප්‍රකාශන.
2 ) අබේසේකර , තිස්ස. 1991. විවෘත ආර්ථිකය, රූපවාහිනිය, චිත්‍රපට සංස්ථාව හා සිනමාවේ අර්බුදය. විමුක්ති ප්‍රකාශන.
3 ) ගුණතිලක , සනත්. සිංහල සිනමාව හා මම. 2015. ෆාස්ට් පබ්ලිෂර්ස්.