පාඨලී චම්පිකට විශේෂ රෝගී තත්ත්වයක් නොමැති බව අධිකරණයේදී අනාවරණය වෙයි
රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වන දා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.
2016 වරසරේ රාජගිරි ප්‍රදේශයේ දී තුරුණයෙකුව බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
පසුගිය දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ ඉකුත් 11 වන දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරු අසනීපව රෝහල්ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවයි.
ඒ අනුව එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව ද කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රෝහල්ගතව සිටි චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බව ද සඳහන් කර සිටියේ ය.
එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ,
“ස්වාමීනි… අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍යවරයාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වන දා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බව සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වන දා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල්තබා ගැනීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය “සාමාන්‍ය” බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල්දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා,” යනුවෙනි.
“ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි” යනුවෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක් වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදු වූ බවයි.
එමෙන්ම විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල්දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් ඔහු සඳහන් කර සිටියේ ය.
මෙම විත්තිකරුට හෙට (22) දිනයේදී ද වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල්තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේ විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය විරුද්ධ නොවන බවත් එය විත්තිකරුට ඇති නිත්‍යානුකූල අයිතියක් බවත් ය.
කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු “සාමාන්‍ය” තත්ත්වයේ පසුවන බවත් විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවත් සඳහන් කර ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කළේය.