බොරැල්ල බෝම්බ සිද්ධියේ උවමනාව කතෝලික බෞද්ධ ගැටුමක් – චිරන්ත අමරසිංහ
බොදු බල සේනාවේ ප්‍රභලයෙක් හිරු සළකුණ වැඩසටහනට පැමිණ අන්තවාදී ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව සිදුවූ නාරාහේන්පිට අත් බෝම්බයේ සිද්ධියත් ඉන් හරියටම මාසයක් ගිය තැන එනම් ඔක්තොම්බර් මස 13 දින හමුවූ බෙල්ලන්විල විහාරය අසල අත්බෝම්බයත්, ඒ වගේම බොරැල්ල දේවස්ථානයෙන් හමුවූ අත් බෝම්බයත් එකම පිටපතකට අනුව සිදුවූ දෙයක් බව චිරන්ත අමරසිංහ මහතා පවසනවා.
සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන චිරන්ත අමරසිංහ මහතා අද පොලිස් මූලස්ථානයේ පොලිස්පති වරයා වෙත මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කරුණු අනාවරණය කළා.
පසුගිය 14 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ කරුණු දැක්වීමට පරස්පර අදහසක් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් සිදු කරනු ලැබූ බවත්, දිගින් දිගටම මෙම සිදුවීම් මාලාව තුළ ආන්ඩුව සැලසුම් සහගතව සත්‍යය වසන් කරමින් සිටින බවත් චිරන්ත අමරසිංහ මහතා පවසනවා.
බෝම්බය තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබියදී තවමත් මුනි නැමති දේවස්ථානයේ සංක්රිස්තියන්වරයාව අත් අඩංගුවේ තබාගෙන සිටින්නේ ඇයි ද යන්න අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කරනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාල කමිටුව විසින් බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කර තිබියදී ආන්ඩුව ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි අමරසිංහ මහතා අවධාරණය කර සිටින්නේ.
මෙහිදී සෘජුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කළ චිරන්ත අමරසිංහ මහතා,
බොදුබල සේනාව හැදුවේ වැඩුවේ රැක්කේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ මම නෙමෙයි එස් බී දිසානායක, යැයි පැවසුවා.
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සංවිධාන සියල්ල තහනම් කරන ලෙසත්, ඒ අන්තවාදී සංවිධාන සහ පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරන ලෙසත්, තව දුරටත් ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිකිරීමට යන මේ කුමන්ත්රණකාරී තත්ත්වය නවත්වන්නට ආන්ඩුව කටයුතු කළ යුතු බවත් පැවසූ අමරසිංහ මහතා මේ අන්තවාදී වැඩපිළිවෙල පෝෂණය කිරීම වහාම නවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් කියා සිටියා.