Latestමතවාද

අතරමැද තුලනයක් නැහැ

අපගේ සාමූහික අනාගතය කුමක් වෙන්න පුළුවන්ද ?..ඒක කොමියුනිස්ට් ද ?,ෆැසිස්ට්ද ? ධනවාදී ද ? මේ කාරණා සම්බන්දයෙන් වන තීරණාත්මක සංවාදයක,විවාදයක මීට අවුරුදු හතලිහකට පනහකට කලින් අපි මිනිස්සු විදියට බැහැල හිටියා. ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතය,කාලය මිනිස්සු කැප කළා. බර තිබ්බා.

ඒත් අද වෙලා තියෙන්නෙ මොකක්ද ? ඉහත කාරණා සම්බන්දයෙන් සංවාද කරන කවුරුත් අද නැති තරම්..හැමෝම වගේ නිහඩවම ගෝලීය ධනවාදය තුළ ජීවත් වීම බාර අරගෙන ඉන්නව. අනෙක් අතට මුළු ලෝකයම විනාශ වී යාමක් ගැන වන ග්‍රස්තියක් හා ෆැන්ටසියක් මිනිසුන් විසින් අවිඥානිකව දරා සිටිනවා. අපගේ සමස්ථ පෘථිවි ජීවිතයම අවසන් කර දමන වයිරසයක්,යෝධ ග්‍රාහකයක ගැටීමක් වැනි විනාශයක් !..

කොවිඩ් වයිරසය කියන්නෙ අපගේ එම බියකරු සිහින යථාවෙන් (Real) යථාර්තයට ඇහැරීමක් විතරයි..‍(යථාර්තය කියන්නෙ සැබෑව නම් නෙවෙයි ඕං. සැබෑව මන්ඩියක් වගේ ඉතිරියි)..

ඇස්ට්‍රොයිඩයක් පෘථිවියේ ගැටීම ගැන නිර්මාණය වෙලා තියෙන ව්‍යසන චිත්‍රපටි (Disaster movies) වලින් මූර්තිමත් වෙන්නෙත් ලෝක විනාශයක් පිළිබදව වන මේ අවිඥානික ප්‍රේරණයයි..ඉතිං,අද දවසේ තියෙන මේ විරුද්ධාභාසය අපිට මෙහෙම කැටි කරන්න පුළුවන්..

ගෝලීය ධනවාදයේ රැඩිකල් පරිවර්තනයක් ගැන හිතනවට වඩා පෘථිවියේ සමස්ථ ජීවයම අවසන් වන ලෝක විනාශයක් ගැන පරිකල්පනය කරන එක අද ඉතාම පහසුයි.

ස්ලෙවෝයි ශිශෙක් ව සිහිපත් කරවන ඉහත අදහස අපි ලංකාවේ විමුක්ති දේශපාලන කතිකාවට මුණගැස්වීමක් විදියට ‘අවතාරය’ සම්මන්ත්‍රණයක දී තේමාව ලෙස ගත්තේ මෙහෙමයි.

” ධනවාදයේ අවසානය ද ?..ලෝක විනාශය ද ?”

වෙනත් විදියකට කිව්වොත් ධනවාදයේ තවදුරටත් වන වර්ධනය ඉදිරිපිට ධනවාදී ලෝක ක්‍රමය අර්බුදයට ගිහින් සමාජවාදය වැනි ප්‍රගතිශීලී, සුබවාදී ලෝකයක් නිර්මාණය වෙයි කියල අනිවාර්‍යතාවයක් හෝ නියතියක් තව දුරටත් නැහැ.

පසුගිය සියවසේ බලවත්ව තිබූ ඒ වාම අදහස අද අවසන්..ඒ වෙනුවට අද අලුත් සියවස තුළ අලුත් විය හැකියාවක් බලවත්ව පෙන්නුම් කරමින් තිබෙනවා..ඒ තමයි ගෝලීය ධනවාදයේ ඉදිරි වර්ධනයන් විසින් ජෛව ගෝලය ඇතුළු මුළු මහත් ලෝකයම අවසාන විනාශය කරා ගෙන යමින් තියෙනවා කියන පැහැදිළිතාවය.

මේ බරපතළ අසුබවාදී අනාගත දැක්ම ඉදිරිපිට අපිට අධිෂ්ඨානශීලී සුබවාදයක් තියෙනවද ? මීට තියෙන්නෙ එකිනෙකට පරස්පර පිළිතුරක්..

එක්කො ධනවාදී ගෝලීය ක්‍රමය අවසන් වෙන්න ඕනෙ..නැත්නම් ලෝකය විනාශ වෙන්න ඕනෙ..අතරමැද තුලනයක් නැහැ..

Don’t Look Up බලපු මගේ සිනමා ලෝලී මිතුරන් චිත්‍රපටිය ගැන මගේ අදහස තැන තැන අහල තිබුණා. මට අනුව චිත්‍රපටියේ මූලිකතම කතිකාමය රාමුව තමයි ඉහත මම සදහන් කරල තියෙන්නෙ..

ඒ ඩිස්ටෝපියානු හෝ යුටෝපියානු කියවීම මතක් කරගෙන චිත්‍රපටිය ආයෙ මතක් කරගන්න..ආයෙ බලන්න..ගින්දරක් පත්තු වෙයි..චිත්‍රපටියක් කියන්නෙ යථාර්තයක් හෝ අදහසක් විතරක් නෙවෙයි..ඊට වඩා වූ දෙයක් (more than reality)..ඒ නිසා ඉදිරියට චිත්‍රපටියේ ‘ඇතුළත’ මස් කරල තවදුරටත් ජීර්ණය කර ගමු..

විදර්ශන කන්නන්ගර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *