දේශීය

මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වූ රටවල් 45න් 32ක් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිගත්තා – විදේශ ඇමති ජී.එල්. පීරිස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සාමාන්‍ය සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දූත පිරිස පළ කළ තර්කානුකූල ප්‍රතිචාරය, සැසිවාරයට සහභාගී වූ රටවල් 45න් 32ක් අනුමත කළ බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 28වන දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49  වැනි සාමාන්‍ය සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇතුළු විවිධ පාර්ශව ශ්‍රී ලංකා‍ව අරඹයා පළ කළ ස්ථාවරයට ප්‍රතිචාර ලෙස ඊට සහභාගී වූ ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිස පළ කළ අදහස් පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(16) සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජිනීවා නුවර මූලස්ථානය කොටගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට විදේශ අමාත්‍ය මහාචාර්යජී. එල්.පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරු සහභාගී වූහ.

ගෝලීය ආර්ථිකට අතිවිශාල සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන මොහොතක,  ලෝකයේ යම් යම් ප්‍රදේශවල දැවැන්ත ප්‍රශ්න මෙන්ම බිහිසුණු සංග්‍රාම පවතිද්දී  ශ්‍රී ලංකාව ලුහුබැඳගෙන යමින් වාචික හා ලිඛිත වාර්තා සහ විශේෂ විමර්ශන  සිදුකරගෙන යාම තුළ කිසිදු අර්ථයක් නොමැති බව එම සැසිවාරයේදී පෙන්වාදුන් බව විදේශ අමාත්‍යවරයා කීවේය.

“ මානව හිමිකම් කවුන්සිලයේ සෑම සැසිවාරයකදීම ශ්‍රී ලංකාව කරලියේ මැද්දට ගෙනැල්ල දිගින් දිගටම පහර දෙමින් අඛණ්ඩ විමර්ශන ඉදිරියට ගෙනයාම කොතෙක් දුරට සාධාරණද? එය නිෂ්ඵල ව්‍යායාමක් නොවේද කියා අපි ඇහුවා. මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සියයට 85ක් තිබෙන්නේ රටේ අභ්‍යන්තර කරුණු. ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විෂය පථයට අදාළ දේවල් නෙවෙයි. රටේ අභ්‍යන්තර කාරණා සඳහා සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ නීති පද්ධතිය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට.  රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් මේ ආකාරයට දිගින් දිගටම මැදිහත් වෙනවානම් එය සෑම රටකටම සමාන විය යුතුයි. එක්සත් ජාතින්ගේ සංවිධානයට රටවල් 193ක් අයත් වෙනවා.මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික නීතිරීති සහ සංස්කෘතියට සෘජුව පටහැනිව යාමක්. එක්සත් ජාතීන්ගේ මූලික අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිය වන්නේ සියලුම රටවල් කිසිදු විභේදනයකින් තොරව එකසේ සැලකීම. මේ ආකාරයට එක්, එක් රටවලට එක්, එක් විදියට සැලකීම  නිසා විශ්වාසය බිදී යනවා. මේ නිසා  තමයි මානව හිමිකම් කවුන්සිලයට කලින් තිබුණ මානව හිමිකම් කොමිසම පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදුවී කඩා වැටුණේ. ඒ වෙනුවට පත්කරපු කවුන්සිලය කටයුතු කරන්නෙත් ඒ ආකාරයටමයි. මානව හිමිකම් කවුන්සලය ආරම්භ කළේ උදාර අරමුණු ඇතිව. ඒවා දැන් ක්‍රියාකරනවාදැයි මා මෙහිදී ප්‍රශ්න කළා. අපි මේ ආකාරයට දැක්වූ ප්‍රතිචාරය සඳහා රටවල් 32ක් පක්ෂව කතා කළා.”

ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, ප්‍රජාතාන්ත්‍රික මහජන උතුරු කොරියානු ජනරජය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරූස්, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕස් මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසක්ස්තානය, බංග්ලාදේශය, දකුණු කොරියාව සහ අසර්බයිජානය යන රටවල් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිගෙන එයට සහාය දැක්විය.

ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන කිරීම සඳහා පත්කරන නිලධාරීන්ට ඇමරිකන් ඩොලර් මිලියන ගණන් ගෙවන බවත් සීමිත මූල්‍ය සම්පත් මුළු මනුෂ්‍ය සංහතියටම ප්‍රයෝජනවත් පරිදි වැය නොකොට මෙවැනි කාර්යයන් සඳහා වැය කිරීම කොතෙක් දුරට සාධාරණද යනුවෙන්  අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර තිබේ. මේ සඳහා විශාල මුදලක් වැය කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණු බවත් මාස 06න් 06ට වාර්තා සකස් කරමින් ඡන්ද විමසීමෙන් සිදුවූයේ රටවල් බෙදීයාමක් පමණක් බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නෛතික යාන්ත්‍රණය තුළින් සාධාරණ විසඳුම් ලබාගත හැකි බව සැසිවාරයේදී පෙන්වාදුන් බව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය. වසර 30ක යුද්ධයෙන් එක් ප්‍රජාවකට නොව සියලුම ජනකොටස්වලට විශාල හානියක් සිදුවූ බව සංඛ්‍යාලේඛන සමග පෙන්වාදුන් බවත් ඔහු කීවේය. යුද්ධයෙන් පසු ප්‍රතිලාභ සියලුම දෙනාටම සමානව අත් කර දුන් බවත් උතුරේ හා දකුණේ සියලු දෙනාටම සාමයෙන් සමඟියෙන් ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනගා ඇති ආකාරය පෙන්වාදුන් බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය. කාලයක් තිස්සේ සංශෝධනය කිරීමට නොහැකිව තිබුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන ගෙන එන බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා නඩු ඇසීමේ කාර්ය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මාන්කුලම්, මුලතිව්, කිලිනොචිචිය, යාපනය වැනි ස්ථානවල අලුතින් අධිකරණ ස්ථාපනය කළ බව කවුන්සිලය හමුවේ පැවසූ බව කීවේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවට  විදේශ  අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *