දේශීයනවතම ලිපි

හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු – ජනපති කියයි

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරු වූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වුවත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

ජනධිපතිවරයා මේ බව පැවසුවේ යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.                              

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බව අවධාරණය කළේය.

පැවති ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නොතිබිණ. පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ද  පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකර වගා කටයුතු සඳහා යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටි. ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව තමාට විශ්වාස යැයි ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුවට රැස්වීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර නිෂ්පාදකයින් සතුව විශාල වගකීමක් පවතින බව පැවසීය.

දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහ කන්නයේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ ද පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට එක්වෙමින්  මහ කන්නයේ දී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන ඇති බවත් ඊට යොමු නොවූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මගහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගත හැකි බවත් දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දී තිබේ.

මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *