Latestදේශීය

3 වෙනිදා වගකීම්සහගත වන්න – උදය ගම්මන්පිල

ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ජනතාව විසින් ඉතාම සංයමයෙන් සහ ඉවසීමෙන් භාවිතා කල යුතු බවත් එසේ නොවුණ හොත් මේ අවස්ථාව මර්දනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවදානමක් ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ සමාජ ජාල ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන අප්‍රේල් 3 ව්‍යාපාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

‘අප්‍රේල් මස 3වෙනිදා හවස 3ට පක්ෂ පාට බේද අමතක කර ජනතාව පාරට ගෙන්වීමේ ව්‍යාපාරයක් මේ දිනවල ඉතා ප්‍රභලව සමාජ මාධ්‍ය වල පවතිනවා. ඒ පිළිබඳ ඉතා වැදගත් කාරණා දෙකක් සිහිපත් කිරීමටයි අපි කල්පනා කළේ .

සමහර මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශ වෙනවා මෙම වැඩසටහනට සංවිධාන දායකත්වය ලබා දෙන එක් සංවිධානයක් විදිහට පිවිතුරු හෙළ උරුමය. මුලින්ම කියන්න අවශ්‍යයි පිවිතුරු හෙළ උරුමය එම වැඩසටහන සංවිධානය කිරීමේ ලා කිසිම නායකත්වයක් දායකත්වයක් සපයලා නැහැ. ඒ නිසා පිවිතුරු හෙළ උරුමයේ නම සිතා මතා මේ ව්‍යාපාරය සමග ගැටගසා තිබෙනවා. අපි කරන දේ බය නැතුව කියනවා අපි තමයි කරන්නේ කියලා. ඒවගේම කවම කවරදාකවත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ.

දෙවැනි කාරණය මේ වැඩසටහනට පැමිණෙන අයට ඉතාම වැදගත් අනතුරු ඇඟවීමක් අපි කළ යුතුයි. මේ වැඩසටහන නිශ්චිත සංවිධානයක් ඉදිරියට නොපැමිණ සංවිධානය කරන කටයුත්තක්. සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙහි දී එයට නිශ්චිත නායකත්වයක් තියෙනවා. ඒ නිසාම පැමිණ සිටින පිරිස පාලනය කිරීමට නායකත්වයට හැකියාවක් තියෙනවා . නමුත් මේක කිසිම නායකත්වයකින් තොරව සංවිධානය වන නිසා බොහෝ වෙලාවට මේක ඇතුළට යම් පිරිස් රිංගවල සංවිධානාත්මකව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සාහයක් දරන්න පුළුවන්.

ජනතාවත් කෝප වී සිටින මොහොතක් බැවින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම අතිශයින්ම පහසු කටයුත්තක්. එවැනි කටයුත්තක් ඇති කර ගැනීමේ අවසාන වාසිය තියෙන්නේ ආණ්ඩුවට. මොකද දැවැන්ත ආණ්ඩු විරෝධයක් පවතින මොහොතක හදිසි නීතිය පනවල යුද හමුදාව කැඳවල සැමතැනම හමුදාව රඳවලා ජනතාවට තමන්ගේ වේදනාව විරෝධය පල කිරීමට තියෙන නිදහස නැති කිරීමේ අවස්ථාවක් ආණ්ඩුවට ඇති වෙනවා ප්‍රචණ්ඩ තත්වයක් ඇතිවුණොත්. ජනතාව ප්‍රචණ්ඩ නොවුනත් සංවිධානාත්මක පිරිසක් ප්‍රචණ්ඩව හැසිරිලා මේ වැඩසටහනට එම සම්පූර්ණ වගකීම පැවරීමේ අවදානම තියනවා. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දි ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුණොත් මේ අවස්ථාව මර්දනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවදානමක් තියෙනවා’

– media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *