අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (#01 කොටස )
නෙවේ, දේශපාලනික ප්‍රශ්න අහමු ! “
අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියා නිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බලහවුල බරපතළම දේශපාලන අභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට පරාජය කල නොහැකිව තිබූ රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් වී ඇත. මෙය ඉබේ සිදු වූවක්ද ? නැතහොත් ස්වයං මහජන ( ? ) නැගිටීමක්ද ?
එසේම 2022 අප්‍රේල් වනවිට ලංකාව කෙදිනකවත් මුහුණ නොදුන් බරපතළ දේශපාලන – ආර්ථික අර්බුදයකට අභිමුඛ වී ඇත. එය අවම ලෙස හෝ ‘ කළමනාකරණය ‘ කිරීමට ද රාජපක්ෂ පවුල මූලික පොහොට්ටු පක්ෂ ආණ්ඩුවට නොහැකි වී ඇත. මේ නොහැකියාව අප වටහාගත යුත්තේ කෙසේද ?
අප දේශපාලනයෙන් ප්‍රශ්න ඇසිය යුතුමය. එහෙත් ඒ ප්‍රශ්න, හුදු ප්‍රශ්න නොවී මූලධාර්මික ප්‍රශ්න විය යුතුය. මූලධාර්මික ප්‍රශ්න ඇසීමට මූලධාර්මික දේශපාලන ප්‍රශ්න මොනවාදැයි අවබෝධයක් තිබිය යුතුය. සියලු ප්‍රශ්න මූලධාර්මික ප්‍රශ්න නොවේ. නමුත් ප්‍රශ්න අසා එතැනින් නොනැවතිය යුතුය. මන්ද මූලධාර්මික ප්‍රශ්න සදහා සදානිමකල ඉක්මන් පිළිතුරු නොතිබිය හැක. මූලධාර්මික ප්‍රශ්න සදහා වෙහෙසකර උත්සාහයකින් පිළිතුරු සෙවිය යුතුය. වෙහෙසකර උත්සාහයකින් පිළිතුරු නිර්මාණය කළ යුතුය. දේශපාලනික ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නා ද වෙනස් විය යුතුය. ලංකාවේ අප්‍රේල් නැගිටීම් ‘දේශපාලන අරගලයක්’ බවට පත්කිරීමට සිදුකරන මැදිහත්වීමක ආරම්භය යනු මෙවන් ප්‍රශ්න අප අපගෙන්ම අසා ගැනීමයි. නැතිනම් ඉතා කෙටිකලකින් ආපසු හැරී බලන විට මිනිසුන් විශාල වශයෙන් පාරට පැමිණීම හෝ ගෝඨාභය ගෙදර යැවීම වුව ද හුදු උද්ඝෝෂණ රැල්ළක් ලෙස පමණක් ඉතිහාසගත විය හැක. එසේ නොවී උද්ඝෝෂණ ‘ දේශපාලන අරගලයක්’ බවට පරිවර්තනය කිරීම යනු කුමක්ද? System change යනු කුමක්ද?
දේශපාලනය ඕපපාතිකද? එනම් ඉබේ සිදුවන දෙයක්ද? නැත්නම් ස්වයං සිද්ධිවාචිකද?
ලංකාවේ නූතන දේශපාලන අරගල ඉතිහාසය සලකන විට නිසැකවම 2022 අප්‍රේල් නැගිටීම් යනු මංසන්ධියකි. මන්ද මෙතරම් ජනකායක් සෘජු දේශපාලන පක්ෂයක් හෝ මතයක් නියෝජනය නොකරමින් වීදි උද්ඝෝෂණයක් සදහා පාරට බැස්ස ප්‍රථම අවස්ථාව මෙයයි. පළමුවම මේ දක්වා එහි තීරණාත්මක සිදුවීම් පෙළගැස්ම සලකුණු කරගමු.
* 2022 අප්‍රේල් 1 වෙනි සිකුරාදා රාත්‍රී මිරිහාන ගෝඨාභය
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය.
* ඇදිරිනීතිය ද නොතකා අප්‍රේල් 3 ඉරිදා රටපුරා උද්ඝෝෂණ
රැල්ළක් දියත් වීම.
* Gota Go Home ලෙස නම් වූ එම උද්ඝෝෂණ අඛණ්ඩව
සතියක් මේ දක්වා සංවිධානය වීම.
* පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය
පිළිබඳව අර්බුදයක් මතුවීම.
* මෙහිදී ආණ්ඩුව මගින් ද මර්දිත ප්‍රහාර එල්ල කිරීම්,
අත්අඩංගුවට ගැනීම්, පොලීසිය හා හමුදාව අතර ආතතියක්
ඇතිවීම්, දේශපාලඥයන්ගේ නිවෙස් වැටලීම් හා ප්‍රහාර එල්ල
කිරීම් ආදිය මේ දක්වා කැපීපෙනෙන ලෙස සිදුවිය.
අප්‍රේල් සිදුවීම් සදහා මේ වනවිට සතියක් ගෙවී හමාරය. මේ උද්ඝෝෂණ සදහා මෙතුවක් සහභාගි වූ සමාජ නියෝජන සංයුතිය කෙවැනිද? මෙහි ආරම්භක මූලිකත්වය ගත්තේ නාගරිම මධ්‍යම පංතියයි. අප්‍රේල් පළමුවෙනි සිකුරාදා ඇරඹි උද්ඝෝෂණයෙන් සතියක් ගෙවෙන විට දැන් මේ මහා උද්ඝෝෂණ සදහා විවිධ සමාජ ස්ථර එක් වී ඇත.
වට්ස්ඇප් කණ්ඩායම් හරහා අප්‍රේල් තුන්වැනිදා මහා විරෝධතා සදහා නිර්නාමික ආරාධනයක් ඉතා විධිමත්ව සංසරණය විය. ඒ පිටුපස දේශපාලනය හුරුපුරුදු ඉවක් ඇති බව නිරීක්ෂණය කල හැක. බොහෝවිට වට්ස්ඇප් හරහා ආරම්භ වූ මේ උද්ඝෝෂණ රැල්ළ අවසන් විය හැකි සරළ අවසානය වන්නේ මීලඟ අපේක්ෂකයාට පාර කැපීමකිනි. යහපාලන ආණ්ඩුව මෙන් තවත් ආණ්ඩුවක් බිහිකිරීමෙන් අප්‍රේල් නැගිටීම් කෙළවර වේද? එසේ නොවීමට නම් බැලූ බැල්මට මේ නායකත්වයක් නැති උද්ඝෝෂණ රැල්ළ සංවිධානය වියයුතු ආකාරය ගැන කිසිවෙකුට හො සංවිධිත විකල්ප අදහසක් ඇත්ද? ඇතත් දැන් එය ක්‍රියාවේ යෙදවීමට වීදිබට ඊනියා මහජනයා ඉඩදේද? මේ නිර්දේශපාලනික අධිපති දෘෂ්ටිවාදය කරපින්නාගත් උද්ඝෝෂණ වල දේශපාලන ඉලක්කය කුමක්ද? දැන් අප සටහනේ මුල මතක් කරගමු. දේශපාලනය ඕපපාතිකද?
දේශපාලන විශ්ලේෂණයකදී අප නැවත නැවතත් මතක තබා ගත යුත්තේ සිදුවෙමින් පවතින්නක් සම්පූර්ණ විග්‍රහයකට ලක්කල නොහැකි අහඹු ගුණයයි. එනම් සරළව කියතොත් මේ උද්ඝෝෂණ රැල්ළ හරහා ඕනෑම දෙයක් සිදුවිය හැක. මෙහිදී නැවතත් අප හමුවට මුල් මූලධාර්මික ප්‍රශ්නය අභිමුඛ වේ. දේශපාලනය යනු දේවල් ඉබේ වෙන්න දී බලා සිටීමද? නැත්නම් දැනුවත් මැදිහත්වීම්ද?
මෙවන් ජනනැගිටීමක ගණනය කිරීමට අසීරුම කරුණක් වන්නේ මේ අරගලයට දායක වන ජනයාගේ දේශපාලන විඥ්ඥානයයි.
එක් අතකින් චන්ද්‍රිකාට පසු ලංකාවේ ඉහළම දේශපාලන අභිලාෂයන් සමග පත් වූ ජනාධිපති ගෝඨාභයයි. අභිලාෂයන් ඉහළ නිසාමත් අර්බුදය ගැඹුරු නිසාමත් ප්‍රතිචාර ද අනපේක්ෂිත වී ඇත. නමුත් මේ ප්‍රතිචාරය කුමක්ද? ප්‍රතිචාර දක්වන්නෝ කව්ද? උදාහරණයකට මේ පාරට බැස්ස අය අතර රාජපක්ෂවාදයේ හිණිපෙත්ටම ගිය ජාතිවාදීන් ද ඇත. ඔවුන් තීරණාත්මක දේශපාලන පරිවර්තනයකට ලක් වී ඇත්ද?
මීට පෙර වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාරය වැනි දේශපාලන කණ්ඩායම් මහපාරේ අරගල කරද්දී ඒ අරගල නිසා ” ගෙදර යන්න පරක්කු වෙනව ” කියා නාහෙන් ඇඩූ නාගරික මධ්‍යම පංතිය ද මේ අප්‍රේල් නැගිටීමේ ගාමක බලවේගයකි. ඔවුන්ට දැන් කීයක් වියදම් කරලවත් ගන්න ගෑස් හෝ ඉන්ධන නැත. ඔවුන් කුමන සමාජ පංතියකට අයත් වුව ද විදුලි අර්බුදය නිසා කළුවරේ රස්නෙන් ඉන්නට සිදු වී ඇත. ඔවුන්ගේ ආදායම් මාර්ග බරපතළ ලෙස කප්පාදු වී ඇත. ඩොලර් අර්බුදය නිසා අන්තර්ජාලය වැනි නව මාධ්‍ය හරහා සිදුකල අනේකවිධ වෙළදාම් සම්පූර්ණයෙන්ම අඩපන වී ඇත. 2019 පාස්කු ප්‍රහාරය හා 2020 කොවිඩ් වසංගතය හරහා බිදවැටී තිබූ ආර්ථිකය දැන් කෙලවරකට පැමිණ ඇත. මෙය තවදුරටත් කිසිසේත්ම ඊනියා ‘සාමාන්‍ය තත්ත්වයක්’ නොවේ. එනිසාවෙන් මිනිසුන්ට ජාතිවාදී වන්නටවත් වෙලාවක් නැත. “බඩ ගැන නෙවේ , රට ගැන හිතන්න” කියූ සිංහල – බෞද්ධ සටන්පාඨය හරහා භෞතීස්ම කල ගෝඨාභය ජනාධිපතිට දැන් ඔහුගේම රසිකයන් “ගෝඨා ගෙදර යනු” කියා ප්‍රසිද්ධියේ කියමින් සිටී. අධිපති දෘෂ්ටිවාදී සටන්පාඨ දැන් නැවත රටෙන් බඩට මාරු වී ඇත. රාජපක්ෂලා බුදුන්ගේ නෑයන් කිරීමට උත්සාහ කල ජැක්සන්ගේ පුත්‍රරත්ණයේ සිට දිලිත් ජයවීර වැනි රාජපක්ෂවාදී වසළ වෙළෙඳ තීරය දක්වා සටන්පාඨය කරට ගෙන ඇත. ට්වීටර් සිට ත්‍රීවිල් පාක් දක්වා ආණ්ඩු විරෝධය උග්‍ර වී ඇත.
” You messed with the wrong class ” (?)
නමුත් මේ ක්ෂණික ආණ්ඩු විරෝධය අපට ‘දේශපාලන අරගලයක් ‘ ලෙස සැලකිය හැකිද? එසේත් නැත්නම් පද්ධති වෙනසක් සදහා වූ අරගලයක් ලෙස නිරීක්ෂණය කළ හැකිද?. දැනට පෙනෙනා ලෙසට මොවුන්ගේ දේශපාලන ක්ෂිතිජය ‘රාජපක්ෂවාදයයි’. එනම් රාජපක්ෂ ගෙදර යැවීමට එහා ගිය ගැඹුරු දේශපාලන සටන් පාඨයක් උද්ඝෝෂණකරුවන් හෝ ඉතිරි දේශපාලන නායකත්වයන් මෙතෙක් මේ නැගිටීම් තුළදී ඉදිරිපත් කර නැත. රාජපක්ෂ දේශපාලනය පවුල්වාදයටම ඌණනය වීමෙන් ධනේශ්වර ජාතිකවාදී අර්ථයකින් හෝ ‘පාලකයෙක් ‘ වීමට ගෝඨාභය අසමත් විය. එනිසාවෙන්ම ලංකාවේ මාධ්‍ය ප්‍රාග්ධනය හිමි සමාජ පැළැන්තිය විසින් අප්‍රේල් නැගිටීම් බාධාවකින් තොරව පවුලකට එරෙහි සටනක් ලෙස වීදිගත කිරීමට සමත් වී ඇත. අපි දැන් සරළ ප්‍රශ්නයක් අහමු. අවම වශයෙන් විදුලිය හා ඉන්ධන ලබාදීමට කව්රුන් හෝ සමත් උනොත්, මේ වීදි උද්ඝෝෂණවලට මින් එහා ගිය අර්ථයක් තිබේද ? මිනිසුන් ඉන් පසුවත් පාරට බහීද? සරළ පරිභෝජනවාදයට එහා ගිය දේශපාලන අරුතක් මේ වීදි සටන්වලට ඇතිද? අවම වශයෙන් මේවාට අයෙක් නායකත්වයක් සපයන්නේ නම් ඔවුන්ට ද රාජපක්ෂවාදයට එහා ගිය දේශපාලන අභිලාෂයක් ඇතිද? එසේ තිබිය යුතු නම් ඒ අභිලාශයන් මොනවාද?
දැනට පෙනෙන්නට ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ පංති කළමනාකරණය අවුල් වූ බවකි. අප්‍රේල් නැගිටීම්වල සුප්‍රකට සටන්පාඨය සංශෝධනය කළයුතුව ඇත. ඒ “ඔබ සෙල්ලම් කලේ වැරදි පරම්පරාව එක්ක” නොව “ඔබ සෙල්ලම් කලේ වැරදි පංතිය එක්ක” ලෙසයි. ප්‍රථම වතාවට ලංකාවේ මධ්‍යම පංතිය උග්‍ර පරිභෝජන අර්බුදයකට ලක්වී ඇත. අවසනාවට ඒ අතේ මිටේ මුදල් නැතුවම නොව, මුදල් තිබුනත් පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ සැපයීමට පාලක පවුල අසමත් වීමෙනි. ඒ මධ්‍යම පංතිය දැන් සිය පංති ශක්‍යතාවය උපරිමයෙන් උරගා බලමින් සිටී. ඔවුන් ද සමාජ පාලක තීරයක් බව රාජපක්ෂලාට අමතක විය. සිදුවූ මූලික අර්බුදය එයයි. රාජපක්ෂ මතයට සහය දුන් ගොවියාට පොහොර නැති වනවිට රාජපක්ෂවාදී මධ්‍යම පංතිකයාට ද මෙවර පරිභෝජන අවකාශය අහිමි විය. සරළව කිව්වොත් බිස්නස් වලට කෙළවිය.
දැන් අප කල්පනාවෙන් මේ සමස්ත උද්ඝෝෂණ රැල්ළ දේශපාලනිකව ස්ථානගත කිරීමට උත්සාහ කරමු. මෙහිදී නැවතත් මෙනෙහි කළයුතු යුතු මූලිකම කරුණක් වන්නේ මෙවන් බහුජන (?) නැගිටීමක ඇති අවිනිශ්චිත බවයි. එනම් මේ තත්ත්වය ගැන දේශපාලන කේන්දර කිසිවකුටත් ලිවිය නොහැක. කුමක් සිදුවේද යන්න කිසිවකුට නිශ්චිත නැත. ඉතිරි විග්‍රහයන් කළ හැක්කේ සිදුවීම් අවසන් වූ පසුවය. එනම් පසුආවර්තීයවය. නමුත් එතෙක් සිදුවීම් අතරවාරයේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වටහා ගැනීමට හා කළයුත්තේ කුමක්ද?’ යන්න නීර්ණය කිරීමට මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක් අත්‍යවශ්‍යය. අපට අර්ථයට නැංවිය හැකි දේශපාලනිකය හා අර්ථයට නැංවිය නොහැකි දේශපාලන ක්‍රියාවන් අතර වෙනස සලකුණු කරගත යුතුය.
නමුත් අප විමසිය යුතු ප්‍රශ්නය වන්නේ ලංකාවේ දේශපාලන සිතියමේ හතරමායිම් යනු මේ මධ්‍යම පංතියද? පොහොර ප්‍රශ්නය නිසා නම් මෙතරම් පිබිදීමක් ඇති වේද? දේශීය සම්පත් විකිණීම නිසා නම් මෙවැනි නැගිටීමක් ඇති වේද? අධ්‍යාපනය විකිණීම නිසා මෙවන් වීදිසටන් සදහා ඊනියා මහජනයා පෙළ ගැසේද? සුබසාධන රාජ්‍ය පහසුකම් කප්පාදුවකදී මෙවන් සටන් ඇවිළේද? දමිළ හෝ මුස්ලිම්වරුන්ට එරෙහි සිංහල ජාතිවාදයට එරෙහිව මෙවන් සහයෝගිතාවයක් ඇති වේද? ආගමික අන්තවාදයට එරෙහිව මෙවන් විරෝධතා ඇති වේද? වැටුප් අසමානතාවකට මෙවන් නැගිටීමක් ඇති වේද? කම්කරුවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමට මෙසේ සති ගණන් අරගල සිදුවේද? ඇගලුම් සේවිකාවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමට මෙවන් උද්ඝෝෂණ අඛණ්ඩව සංවිධානය වේවිද? අවශ්‍ය නම් මේ ලයිස්තුව තවත් දිගු කළ හැක. මතුකරනා ප්‍රශ්නය දැන් පැහැදිළි විය යුතුය.
ඇත්තටම ලංකාවේ දිග්ගැසුනු දේශපාලන අර්බුදයක් වේද? වේ නම් ඒ හුදු ව්‍යවස්ථා අර්බුදයක්ද? ව්‍යවස්ථා සංශෝධනය මූලධාර්මික දේශපාලන සාධකයක්ද? ව්‍යවස්ථා වෙනසකින් පද්ධති වෙනසක් සිදුවේද? නැතිනම් ජවිපෙ සුප්‍රකට සටන්පාඨය වන ‘වංචා දූෂණ’ නැවතුනාම රට හරිමගට එනවද? ලංකාවේ දේශපාලන කෂිතිජය වංචාදූෂණද? නැතිනම් මිනිස්සුන්ගේ කම්ම්මැලි කමද? මිනිසුන් එකමුතු මදි කමද? එසේත් නැත්නම් විමල් – උදය දෙබෑයන්ගේ සාරාංශය මෙන් ප්‍රශ්නය බැසිල්ද?
ඉහත සලකුණු කල ආකාරයේ ජනප්‍රිය, සරළමතික දේශපාලන සාරාංශ ඉදිරිපත් කරන්නන්ගේ මූලික තර්කයක් වන්නේ ‘මේ වෙලාවේ කළ යුත්තේ ඉස්සෙල්ලාම රාජපක්ෂලා ගෙදර ඇරීම’ බවයි. හරි, රාජපක්ෂලව ගෙදර ඇරිය පසු කරන්නේ මොකක්ද? මේ අසීරු ප්‍රශ්නයයි. පූජ්‍ය සෝභිත ප්‍රවර්ගයේ දේශපාලන යෝජනාවකින් යහපාලන සමයේ භාවිතයට ගෙන හාස්‍යජනක ප්‍රතිඵල ලබා අවසන්ය. එවන් කෙටි කාලීන පිළිතුරක් නැවතත් අභ්‍යාසගත කිරීමද උද්ඝෝෂණ වල අරමුණ? ලංකාවේ දේශපාලන අර්බුදය කෙටිකාලීනව විසදිය හැක්කක්ද? දිගුකාලීන විසදුම් මොනවාද? කට්ටිය හැසිරෙන්නේ දිගුකාලීන විසදුම් තිබෙනා අතරේ කෙටිකාලීන විසදුම් ක්‍රියාවේ යොදනා ලෙසකිනි. කිසිවෙකුත් සතුව දිගුකාලීන විසදුම් ඇත්ද? ඉතා පහසුවෙන් ජහමනයා අමතක කරන්නේ ඇත්තටම හැමදාමත් ලංකාවේ ක්‍රියාවේ යෙදෙව්වේ කෙටිකාලීන විසදුම් බවයි. අද අප ඉදිරියේ ඇති දුර්වල රට යනු පරම්පරා කීපයක කෙටිකාලීන විසදුම් වල ප්‍රතිඵලයකි.
විසදුම් ඉදිරිපත් කිරීමට පෙර පවතින තත්ත්වය අප තේරුම් ගෙන නිවැරදිව සූත්‍රගත කර ඇත්තේද? එවන් සූත්‍රගත කිරීමක් කෙතරම් වෙහෙසකරද? ඒ වෙහෙසකර දේශපාලන හැදෑරීමට අවශ්‍ය කැපකිරීම් කිරීමට මිනිසුන්ගෙන් කොටසක් හෝ සූදානම්ද? නැත්නම් මෙතුවක් කලාක් මෙන් දැනටමත් ටිකිරි මොළේට පහළ වන අදහස් පරීක්ෂාවකින් තොරව ක්‍රියාවේ යොදවන්නේද? මෙතුවක් ලංකාවේ අත්හදා බැලූවේ ඒ ක්‍රමය නොවේද? ඊනියා නිදහසෙන් පසු පත්කල සියලු පාලකයන් යනු ‘එවෙළෙ හොඳම තේරීම්’ නොවේද? එම කෙටිමග තෝරාගත්තේ ලංකාවේ ඊනියා මහජන ඡන්දයෙන් නොවේද? මහජනතාවගේ දේශපාලන දැනුම දෙස බලන්න අවශ්‍ය අයෙක් වර්තමාන ලංකාව දෙස බලන්න !. මහජනතාව රට වෙනස් කරන්නේ ‘යැයි අප තවදුරටත් විශ්වාස කළ යුතුද?
“Go home people”
දැන් අපි මූලික ගැටළුව වරනගමු. දේශපාලනය යනු වෘත්තීය භාවිතයකි. මෙහිදී වෘත්තීය යන්නෙන් අදහස් වන්නේ ‘රස්සාවක්’ නොව, විශේෂඥ භාවිතයකි. වාමාංශික දේශපාලනයේදී නම් ‘ක්‍රියාධරයා’ යනු එවන් විශේෂඥයෙකි. දේශපාලන විශේෂඥයකු වීමට මූලිකම සාධකයක් වන්නේ දේශපාලන චින්තනයේ අත්පත් කරගන්නා විශේෂඥභාවයයි. දේශපාලන ක්‍රියාව එන්නේ එම විශේෂඥ සිතුවිල්ලට පසුව විය යුතුය.
නමුත් බොහෝදෙනා අප්‍රේල් නැගිටීම් ඇතුළුව බොහෝමයක් ලංකාවේ දේශපාලන සංසිද්ධි වටහාගන්නේ පරීක්ෂාවට ලක්නොකරන ලද අදහස් හරහාය. “දේශපාලන අදහස්” යනු විශේෂඥ භාවිතයකින් බිහිවන්නක් බව ඊනියා බහුජනයා කොහොමත් නොදනී. ලංකාවේ නම් දේශපාලඥයන් ද මේ බවක් නොදනී. ඒ බව ඔවුන්ගේ සරළමතික තර්ක හා භාවිතයන්ගෙන් කොතෙකුත් ඔප්පු වේ. මේ ලිපිපෙළ හරහා නැවත මූලධාර්මික දේශපාලන ප්‍රශ්න සදහා වටිනාකමක් අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන විචාරශීලීත්වය උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීමේ අරමුණිනි. එනිසා අප කොන්දේසි විරහිතව අප්‍රේල් නැගිටීම් ප්‍රශ්න කල යුතුය. මන්ද පාලකයන් යනු ඊනියා මහජනතාවගේ ප්‍රතිබිම්භයයි. උදාහරණයකට “පාර්ලිමෙර්න්තුවේ 225 ම ගෙදර යා යුතුයි” යන සටන් පාඨය ජනගත වූ පසුව ද තිබූ මැතිවරණය යනු ලංකාවේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් පෙන්නුම් කල මැතිවරණයකි. දැන් ඒ ඡන්දය ප්‍රකාශ කලේ 225 ම එපා කියූ ඊනියා මහජනයාම නොවේද? මේ කිසිවෙකුටත් තමන්ගේම සටන්පාඨ පවා බැරෑරුම් නැත. ඒ ඊනියා මහජනයාගේ භාවිතයයි ! එනිසා බර්ටෝල් බ්‍රෙෂ්‍ට් කිව්වාක් මෙන් අප කලයුත්තේ මේ පාලකයන් ඉවත් කර වෙනත් පාලකයන් පත්කර ගැනීම නොව, මේ මහජනතාව ඉවත් කර වෙනත් මහජනතාවක් පත්කර ගැනීමයි. වෙනස් කලයුත්තේ මහජනයාවයි. අරගල කල යුත්තේ මහජනයා සමගයි. විවේචනය කල යුත්තේ මහජනයාවයි.
මේ අරාජික උද්ඝෝෂණ පිටුපස සැගවුනු ශක්තිය ලාකීය මහජන පුද්ගලවාදයද?
බූපති නලින් වික්‍රමගේ