Latestදේශීයමතවාද

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් – (දෙවැනි කොටස )

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

‘දෘෂ්ටිවාදය’ යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ‘ මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යායනය’ කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ‘ අදහස් ‘ වලට එළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර අප එළඹෙන අදහස් දෘෂ්ටිවාදී වේ. එක් එක් මනුස්සයාට දෘෂ්ටිවාද වෙන වෙනම නැත. දෘෂ්ටිවාද යනු ඓතිහාසික පරිනාමයක් සහිත , බොහෝවිට ඉතිහාසයක් සහිත සමාජ ප්‍රවර්ගයකි. ඊනියා සාමාන්‍ය මිනිසා “අදහස් වල ඉතිහාසය” ගැන උනන්දු නැත. මිනිසුන් බොහෝවිට හැසිරෙන්නේ සියලු අදහස් ඕපපාතිකව ජනනය වූ ලෙසිනි. දෘෂ්ටිවාදී විකාශනයන් හා නිශ්චිත දෘෂ්ටිවාදයකින් දැන් මේ මොහොතේ ඉෂ්ට කරන්නේ කුමන කාර්‍යභාරයක්ද යන්න විචාරයට ලක්කිරීම දේශපාලනයේ මූලික අධ්‍යාපනයකි.


මේ පෙරවදන උදව් කරගනිමින් අපි බලමු 2022 අප්‍රේල් නැගිටීම් තුළ අධිපති බලයක් සහිත දෘෂ්ටිවාද ක්‍රියාත්මක වන්නේ කොහොමද  කියල.

අප්‍රේල් නැගිටීම්වල ප්‍රධානතම දෘෂ්ටිවාදයක් වන්නේ මේ නැගිටීම්’ තනි නායකත්වයක් නැති, නිර්පාක්ෂික’ නැගිටීමක් බව. මේ අදහස සටන්පාඨයක් ලෙස රැගෙන එන්නන්ගේ ස්වරූප බහුගුණය. ලිබරල්, වාමාංශික, ජාතිකවාදී ආදී මේ නැගිටීම නියෝජනය කරනා විවිධ පාර්ශව පෙනීසිටිනා පොදු දෘෂ්ටිවාදය මේ ‘අරාජිකවාදයයි’. මෙය අරාජිකවාදයක් ලෙස හැදින්වූයේ ‘තනි නායකත්වයක් නොමැති’ බව සටන්පාඨයක් ලෙසම ‘ගෝටා ගෝ හෝම් ‘ උද්ඝෝෂණ තුළ වටිනාකමක් අත්පත්කරගෙන ඇති බැවිනි. අපි මෑතකාලීනව ලංකාවේ ජනප්‍රිය අධිපති දේශපාලනික දේශපාලනය තුළ මේ අදහස විකාශනය වූ ආකාරය පරීක්ෂා කරමු.


2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල කුතුහලය දනවන සුළුයි. ඒ වනවිට ලංකාවේ ඉතිරි වී තිබූ මහා, ප්‍රධාන පක්ෂ දෙකක සංකේතීය අවසානයක් (?) එමගින් සලකුණු විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. නමුත් ලංකාවේ පුද්ගලවාදයට අදාලව දෘෂ්ටිවාදී පදනම මීට කලකට පෙර සිටම සංකීර්ණ තත්ත්ව යටතේ ප්‍රතිව්‍යුහගත වෙමින් තිබිණ. අධිපති රාජපක්ෂවාදය 2015 දී පරාජය කිරීමට ඉදිරිපත්වීමට තනි පක්ෂයක් නොතිබුනු අතර යහපාලන කණ්ඩායම රැගෙන ආවේ ‘පොදු අපේක්ෂකයෙකි’. එහි යෝජනාව වූයේ සමාන දේශපාලන අභිලාෂ සහිත මිනිසුන් පිරිසක් එකතු වූ ‘පක්ෂයක්’ පිළිබඳව විශ්වාස කිරීම වෙනුවට ‘පුද්ගලයෙක් ‘ විශ්වාස කරනා බරපතළ දේශපාලන අභිලාෂ නොමැති, ඒ වෙනුවට ‘ රාජපක්ෂවාදයට එරෙහි බව’ මත පමණක් එක් වූ දුර්වල දේශපාලන ගොනුවකි. එවැනි පවුල් දේශපාලන විරෝධයකට තනි පක්ෂයක් අවශ්‍ය නොවීය. රාජපක්ෂලව 2015 ගෙදර යැව්ව ද දේශපාලනිකව යහපාලනය නැවතුන තැන කව්රුත් දනී. 


ඉන් අනතුරුව නැවත වටයකින් රාජපක්ෂවාදී දේශපාලන බලහවුල ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරිමින් පොහොට්ටුව නමින් නව පක්ෂයක් (?) ඉදිරිපත් කරමිනි. එම පක්ෂයේ සංයුතිය සැලකුව ද විවිධ කුඩා පක්ෂ සමූහයක හා බැසිල් රාජපක්ෂ නම් දේශපාලන සංවිධායක වටා එක් වූ පිරිසකගෙන් සමන්විත වූවකි. ඊට දිග්ගැස්සුනු දේශපාලන අභිලාෂ නොවුනු අතර ඒ පක්ෂය තුළම වූ ‘ජාතිකවාදයට’ ඇති බලය බෙදාගැනීමට පවා ඔවුන් අතරම පොරයක් පෙනෙන්නට විය. රටජාතිය වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින්නේ බණ්ඩාරනායක උරුමය ඇති නිදහස් පක්ෂයද?  විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද? ගෝටාභය රාජපක්ෂ  වෙනුවෙන්ම තැනුණු වියත් මගද? ගෙවිදු කුමාරතුංගගේ යුතුකම සංවිධානයද? වසන්ත බණ්ඩාරගේ ජාතික සංවිධාන එකමුතුවද? ඩෑන් ප්‍රියසාද්ලාගේ සිංහ ලේද? යන ගැටළුව හරහා බෙදිම් දිස්විය. ඒ අර්ථයෙන් රාජපක්ෂ පවුල නම් සාධකය ඉවත් වුවහොත් පොහොට්ටුව යනු කිසිසේත්ම ශක්තිමත් දේශපාලන පදනමක් සහිත පක්ෂයක් නොවීය.


මේ පසුබිම අනුව බැලූවිට පොහොට්ටුව ‘ජාතිකවාදය’ ශක්තිමත් දෘෂ්ටිවාදයක් ලෙස භාවිත කල පක්ෂයක් ලෙස සැලකිය නොහැක. ඒ වෙනුවට එහි මූලික දෘෂ්ටිවාදය ලෙස ඉදිරිපත් කෙරුනේ ‘රාජපක්ෂවාදයයි’. කව්රුන් හෝ රාජපක්ෂවරයෙකුට ඇති පක්ෂපාතීත්වය එහි මූලික ගුණාංගයයි. ඒ අනුව පොහොට්ටුව යනු මහා පක්ෂයක් ඉවර කර බිහි වූ තවත් ශක්තිමත් පක්ෂයක් ලෙස සැලකීම ගැටළුකාරීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටු කදවුරේ 2019 ජනාධිපති නාමයෝජනාව පවා විශාල අර්බුදයකට ලක් විය. ඒ අභ්‍යන්තර අර්බුදයත් නිසාම හා සමාජයේ වර්ධනය වී ඇති පක්ෂ සදහා වූ අපුල නිසාත් ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් වූයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නොව ‘නිර්පාක්ෂික අපේක්ෂකයෙක්’ ලෙසිනි.


‘අරාජිකවාදය’ – ජනාධිපතිවරණයේ සිට ගෝල්ෆේස් දක්වා

දැන් අයෙකුට ලංකාවේ මේ නව ‘නිර්පාක්ෂික දෘෂ්ටිවාදය’ මෑතකාලීන අධිපති දේශපාලන අදහසක් ලෙස විකාශනය වූ ආකාරය පැහැදිළි විය යුතුය. අවසන් ජනාධිපතිවරු දෙදෙනාගේම ප්‍රචාරක පාඨ වූයේ ‘පොදු අපේක්ෂක’ හා ‘නිර්පාක්ෂික අපේක්ෂක’ යන්නයි. තවදුරටත් මිනිසුන් සමූහයක් එකතු වූ සමූහයකගේ දේශපාලන අභිලාෂයන් වෙනුවට එක් පුද්ගල චරිතයක් මත විශ්වාස කිරීම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස කලඑළි බැස ඇත. ඒ දෘෂ්ටිවාදය විසින් දැන් දශකයකට ආසන්න කාලයක් ජනාධිපතිවරු දෙදෙනෙක් හරහා ලංකාවේ මිනිසුන්ගේ ජීවිත තීරණය වී ඇත.


ඊනියා මහජනයා අතර ක්ෂුද්‍ර තලයේ සංවිධානය වන දෘෂ්ටිවාදය පුද්ගලවාදය වන විට උපරි ව්‍යුහය හෙවත් මහා තලයේ එය ප්‍රකාශමානවන ආකෘතිය වන්නේ අරාජිකවාදයයි. පුද්ගලවාදයේ දේශපාලන ප්‍රකාශනය අරාජිකවාදයයි. අරාජිකවාදය විසින් අපට ඉගිකරන දේශපාලන චිත්‍රය තරමක් සංකීර්ණ, ව්‍යාකූල එකකි. විශේෂයෙන් ගෝල්ෆේස් උද්ඝෝෂණ සංයුතිය තුළ මේ ගුණය විද්‍යමාන වෙන ආකාරය සංකීර්ණය. ඒ තුළ “නායකයන් නෑ” කිව්ව ද නායකයන් ඇත්තේම නැද්ද? ඉන්නව. කෙවැනි නායකයන්ද ඉන්නෙ?



ලංකාවේ අප්‍රේල් නැගිටීම් ප්‍රංශ හෝ රුසියානු විප්ලවවලට සමාන කරන්න හදිසි වීම වෙනුවට අප මේ ජීවත්වන යුගයේ ‘මිනිස් සමූහ’ පිළිබඳව දෘෂ්ටිවාදය සංවිධානය වන මූලික ආකෘතිය කුමක්දැයි පරීක්ෂා කරමු. ගෝල්ෆේහි ගෝටා ගෝ ගම අවකාශය යනු එක අතකින් දත්ත ප්‍රාග්ධන හෝ මහා දත්ත යුගයේ අන්තර්ජාල තත්‍යසම අවකාශ භෞතික ලෙස හමුවීමකි. මුහුණු පොත වැනි තත්‍යසම අවකාශ වල සාමූහිකයන් යනු බුබුළු ආකෘතියකි. එක් බුබුළක සිටින්නන්ට ලෝකය යනු ඒ බුබුළයි. වාමාංශික බුබුළු , විකල්ප බුබුළු, ප්‍රජාතන්ත්‍රවාදී බුබුළු, බුද්ධිමය බුබුළු, යහපාලන බුබුළු ආදී බුබුළු දැන් බහුගුණ වී ඇත. ගෝටා ගෝ ගම තුළ මතුවන පශ්චාත් නූතන සංස්කෘතික නායකයන් යනු එවැන්නන්ය. උපුල්ශාන්ත සන්නස්ගල , මෝටිවේෂන් අප්පච්චී, රැට්ටා, මහකුඹලා අජිත් පෙරේරාගේ සිට පානදුරේ ලාල් වැනි තත්‍යසම චරිත හරහා ගෝටා ගෝ ගමට ආ පිරිස් ඒ බුබුළේ සිටී. ඔවුන් මේ නැගිටීමේ ප්‍රචාරක යන්ත්‍රයේ භූමිකාවක් දරයි. පෙරටුගාමී හෝ අන්තරේ හෝ විකල්ප වමේ බුබුළු වෙනම ද රසික ජයකොඩිගේ ෆෑන්ස්ලා වෙනම ද සුනිල් විජේසිරිවර්ධන ප්‍රවර්ගය වෙනම ද බේකරිය රාජාගේ පිරිස වෙනම ද ආදී බහුගුණ වූ විවිධ බුබුළු ශාරීරිකවම ගෝටා ගෝ ගමට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේ බුබුළු තර්කණය ගාලුමුවදොරට ශාරීරිකවම රැගෙන එමිනි. මේ සියල්ලෝ එකපොදියට ඉන්නා විට සමහරු ඊට ‘මහජනයා’ යයි කියයි. හැබෑය. ඒ මහජනයාය. මහජනයා යනු බිදුනු ප්‍රවර්ගයකි. නමුත් මහජනයා පෙනීසිටින්නේ සමස්තයක් ලෙසිනි. දේශපාලන උගුල ඇත්තේ එතැනය. පරීක්ෂාවට ලක්කිරීමට ඉතා අසීරු ප්‍රමුඛතම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස ‘මහජනයා’ නම් ප්‍රවර්ගයක් අපට එලෙස අභිමුඛ වෙයි. ඒ තුළ සාම්‍යයක් හෝ ඒ තුළ එකමුතුවක් හෝ ඔවුන් අතර සම්මුතියක් ඇතැයි පිළිගැනීමට බලකෙරෙමින් තිබේ. මේ සම්මුතිය කෙවැනිද? ගෝටා ගෙදර ගියවිට කිසිවෙකුට හෝ කණ්ඩායමකට දේශපාලන තීරණ ගැනීමට සිදුවේ. මහජනයා යළි ජේවීපීකාරයන්, යූඑන්පීකාරයන්, පෙරටුගාමීන්, ජාතිවාදීන්, ගේම්කාරයන් ලෙස වේශය මාරු වන්නේ එවිට. දේශපාලනය ආරම්භ වන්නේ එවිටය.



මේ දක්වා මේ අය විකල්ප වේවා ප්‍රධාන ධාරාවේ වේවා, ඔවුන්ගේ ඉදිරිපත් වන පොදු ගුණාකාරය අරාජිකවාදයයි. නායකයෙක් හෝ පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් නැති උද්ඝෝෂණ හරහා පද්ධති වෙනස් කල හැකි යයි ඔවුන් විශ්වාස කරති. එනිසා බොහෝදෙනා අප්‍රේල් නැගිටීම්වලින් බලාපොරොත්තු දල්වාගෙන සිටී. විකල්ප පිරිස් ද ජනප්‍රිය ප්‍රධාන ධාරාව ද ඇත්වැල් බැදගෙන ඇත. සුනිල් – නන්දා සිට ජාතිකවාදී ජයන්ත චන්ද්‍රසිරි දක්වා පරාසයක් සදහා ගාලුමුවදොර දොරටු විවෘත වී ඇත. මේ අය එක් වී කියන එක් සටන්පාඨයක් පැහැදිළිය. ඒ ගොඨාභය ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියායි. එය එසේ සිදුවේද නොවේද යන්න විවෘතය. එසේ සිදුවුවහොත් එය අවිවාදයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පැහැදිළි සංධිස්ථානයක් වනු ඇත. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. ගැටළුව වන්නේ මේ සමස්ත උද්ඝෝෂණ ප්‍රමුඛ අප්‍රේල් නැගිටීම අප දේශපාලනිකව ස්ථානගත කරන්නේ කෙසේද යන්නයි. යෝජනාවක් ලෙස එන්නේ ක්‍රියාදාමය තවමත් සිදුවෙමින් පවතින බැවින් ස්ථානගත කිරීමට හදිසි නොවනා ලෙසයි. හැබෑය, දේශපාලනයේදී ඒ අහඹු අවස්ථාවට ඇති වටිනාකම ඉහළය. නමුත් මතුකළ යුතු ගැටළුව වන්නේම ක්‍රියාදාමය යනුම ඕපපාතික ඉබේ සිදුවන්නට දී බලා සිටිය යුත්තක්ද යන්නයි. ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ ‘දේශපාලනය ඕපපාතිකද’? යන්නයි. දේශපාලනය තුළ ඕපපාතිකත්වයට ඇති වටිනාකම කුමක්ද යන්නයි. ක්‍රියාවලිය අතරේ විචාරයක් අවශ්‍ය වන්නේ නැගිටීම් වල දිශානතිය සලකුණු කර ගැනීමටය. බහුතරයක් දෙනා අප්‍රේල් නැගිටීම් සදහා ආවඩන මොහොතක එය විචාරයට ලක්කිරීමේ අසීරු කාර්‍ය පිළිබඳව අපගේ දේශපාලනික උනන්දුව තවදුරටත් පවත්වා ගමු.


බුබුළු දේශපාලනයේ කෙළවර ?

මුස්ලිම් සිංහල මිනිසුන් කෑම බෙදාගැනීම හෝ සිංහ කොඩි එසවීම හෝ නලානාද කිරීම හෝ ප්‍රභූවාහන වලට එරෙහිව ගොස් පාර සුද්ද කරගෙන යාම හෝ පොලිස් නිලධාරියෙකුගේ හැගීම්බර වීඩියෝ කතාවක් හෝ ගෝල්ෆේස් පිටියේ රෑට හොඳහැටි කුණුහරුප කීම හෝ ගෝටා ගෝ ගමේ කූඩාරමක නැවතීම හෝ ගෝටා ගෝ ගමේ භික්ෂුන් පිරිත් කීම හෝ පරණ රාජපක්ෂවාදීන් පෝළිමේ සමාව ගැනීම හෝ යනු පද්ධති වෙනසක්ද? ඔබ පද්ධතිය කියන්නේ කුමක්ද? ගෝටා ගිය පසු කරන්නේ කුමක්දැයි කාට හෝ විධිමත් යෝජනාවක් ඇත්ද?

ගෝටා ගෝ ගම තුළ දැන් බොහෝ දේ ගොඩනැගෙමින් පවතිනා බවට ජනප්‍රිය ප්‍රචාරක රැල්ළක් බිහිවෙමින් පවතී. ඒ තුළ පුස්තකාල, ආහාරපාන දන්සැල්, කලා අවකාශ, සම්මන්ත්‍රණ, කූඩාරම් සිට කානිවල් තත්ත්ව දක්වා වර්ධනය වී ඇත. එසේම දෘෂ්ටිවාද ලෙස ‘ආදරය, අවිහිංසාව, ජාතික සමගිය, සදාචාරය, එකමුතුකම, මානවවාදය, නිදහස’ ආදී ජනප්‍රිය ප්‍රවණතා දෝරගලමින් ඇත. මේවා දෘෂ්ටිවාද ලෙස සලකුණු කරනු ලැබුවේ මේවාට පදනමක් හෝ ඉතිහාසයක් කිසිසේත්ම සලකුණු කල නොහැකි බැවිනි. ඒවා ඇතැම්විට තවත් දේශපාලන ප්‍රවාහයක් විසින් නිර්මාණය කල, සමපේක්ෂී ප්‍රචාරණ ව්‍යාපෘති ද විය හැක.


ගාලුමුවදොර ජනප්‍රියවාදයට පිටුපසින් යම් හරයක් හෝ දිගුකාලීන දේශපාලන අරමුණු ක්‍රියාවේ යෙදවේද? ඒ සදහා මේ ජන නැගිටීම ඉවහල්වේද? දැනට අපට නිරීක්ෂණය වන්නේ දේශපාලන බහුත්වවාදයකි. නැතහොත් අච්චාරුවකි. ඒ අතරේ වම්මුන් මේ හරහාම විප්ලවයක් ගැන ද කතා කරයි. මේ වනතුරු එක් බුබුළකින් අනෙක් බුබුළට කිසිදු අභිමුඛ වීමක් නොවීමම අප තේරුම් ගත යුත්තේ කෙසේද ? ගෝටා ගෝ ගමේ ‘දේශපාලනය’ හැර ඉතුරු සියල්ල වෙමින් පවතින්නේද ?

බූපති නලින් වික්‍රමගේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *