Latestදේශීයමතවාද

“උං ආවා, උං වික්කා” –  දේශපාලන ආර්ථිකය  අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (05 කොටස)

ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත.  එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක් ගොඩනැංවීම ඉතා අසීරු කටයුත්තකි. එමනිසා මේ ප්‍රස්තුතය පිළිබඳව ආර්ථික අදහස් හදිසි අවසන් විනිශ්චයන් ලෙස ඉදිරිපත් වන්නේ නම් ඒවා දෘෂ්ටිවාද පමණි. නැතහොත් පරීක්ෂාවට ලක් නොකරන ලද මනස්ගාත පමණි. සාර්ව ආර්ථික විශ්ලේෂණයක් යනු ලංකාව වැනි ඉතා ව්‍යාකූල ආර්ථිකයක් ඇති රටක බරපතළ ප්‍රශ්නකාරී වූ ක්‍රියාවකි. ලංකාව ව්‍යාකූල ආර්ථිකයක් පවතින බව මෙහිදී කියන්නෙ ඇයි? 


‘ආර්ථික විද්‍යාව’ නම් ‘නිදහස් තරගකාරී සාධාරණ වෙළෙඳපොළ’ පදනම්ව ගොඩනැංවූ නව සම්භාව්‍ය හෝ බුර්ෂුවා ආර්ථික විද්‍යාවට එරෙහිව ශ්‍රමය හා නිෂ්පාදනය මූලිකව මාක්ස්වාදී සම්ප්‍රදායේ භාවිතවන්නේ ‘දේශපාලන ආර්ථිකය’ නම් යෙදුමයි. මේ එළඹුම් දෙකෙහි පදනම්සහගත වෙනස්කම් ගණනාවක් ඇත. ලංකාවේ අප්‍රේල් නැගිටීම් ඇතිවීමේ වඩා ගැඹුරු ආර්ථික සාධක කරා ලගාවීමට නිෂ්පාදනය පාලනය කරනා ආර්ථික බලය ඇති බුර්ෂුවා පංතියේ ආර්ථික විද්‍යාවේ දෘෂ්ටිවාදය විවේචනය කල යුතුවන අතර විශේෂයෙන් ලංකාවේ ජාතික දේශපාලන තලයේ අධිපති ආර්ථික සංකල්ප වල පදනම් විචාරය කල යුතුවෙයි. පවතින ආර්ථික ව්‍යාකූල බව සලකුණු කරගත හැක්කේ බොහෝවිට ආර්ථිකයේ මගහරිනා පාතාල ස්වරූපයේ අපැහැදිළි කලාපයන් නිරාවරණය කිරීමෙනි. 



ඉල්ලුම් සැපයුම් න්‍යාය මත පදනම් වූ සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලිකම එළඹුමක් වන්නේ රාජ්‍යයෙන් නිදහස් වූ වෙනම සිවිල් සමාජයකට ආර්ථිකය හැසිරවීමේ දෘෂ්ටිවාදී ස්වාධිපත්‍යය හිමිකරගැනීමේ අරගලයයි. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ලෙස මෙය සරළව වරනැගෙයි. රාජ්‍ය කේන්ද්‍රීය වානිජ ධනවාදයක ඉතිහාසයක් ඇති ලංකාවේ ආර්ථික ඉතිහාසය තුළ මේ සිවිල් සමාජය යනු කව්දැයි හදුනාගැනීම ඉතා දුෂ්කර වෙන්කිරීමකි. ලංකාවට ඇත්තේ වානිජ ආධිපත්‍යක් හිමි සමාජ පංතීන්ගේ පූර්ණ අනුග්‍රහයෙන්, ඔවුන් වෙනුවෙන් පත්වන ආණ්ඩුවල ඉතිහාසයකි. එවිට බොහෝවිට ආණ්ඩු හසුරවන්නේ ඒ වානිජ ප්‍රාග්ධනයට හිමිකාරත්වයක් ඇති සමාජ පංති විසිනි. අර්බුදයට විසදුමක් ලෙස පරිභෝජන කප්පාදුවක් හෝ දූෂණ රහිත පිරිසිදු ආර්ථික සදාචාරයක් මොවුන්ගෙන් ඉල්ලීම යුතෝපියානු විහිළුවකට වඩා වැඩි යමක් නොවේ. එවැන්නෙක් මගහරිනා කොටස වන්නේ දශක කිහිපයක් ලංකාවේ ඊනියා මහජනයා තුළ මුල්බැසගෙන ඇති පරිභෝජනවාදයේ දෘෂ්ටිවාදයයි. එක් අතකින් මුල්කාලීනව පශ්චාත් යටත්විජිත ප්‍රභූ මූලයන් ඇති මධ්‍යමපංතික බුද්ධිමතුන් 70 දශකය දක්වා මේ තලයේ ආර්ථික යෝජනා ඉදිරිපත් කරමින් පරිපාලනය නියෝජනය කල අතර කැරළිකාර අසූව දශකයෙන් පසු සිවිල් සමාජය ලෙස අධිපති බලයක් අත්පත් කරගත්තේ රාජ්‍ය නොවන සංවිධාන මූලික නවසමාජ ව්‍යාපර විසිනි. ඉන්පසු සිවිල් සමාජය රාජ්‍යයෙන් දුරස් වූ අතර වසළ වෙළඳ කුලයක් රාජ්‍ය පරිපාලනය හැසිරවීය. මේ කිසිවෙකුත් ගෝලීය පශ්චාත් කාර්මික පරිභෝජනවාදයට එරෙහි නැත. ඔවුන්ගේ යෝජනාව ආර්ථික නිර්බාධීකරණයයි. 


මෙකල රාජ්‍යයට ඇතුළු වූ පහළ සමාජ පංතිවලට සීග්‍රයෙන් කොමිස් හා කළු ආර්ථික හරහා රාජ්‍ය ප්‍රාග්ධනය සූරාකෑමේ ව්‍යුහයක් නිර්මාණය විය. සිවිල් සමාජය හා වානිජ ප්‍රාග්ධනය හසුරවන ධනපතීන් මූලික දේශපාලන ආකෘතියක් එජාපය විසින් කේවල් කල අතර ශ්‍රීනිපය හෝ පොහොට්ටුව රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය අභ්‍යාස කරමින් සිටී. යූඑන්පී ආණ්ඩු වලින් වඩා නිදහස් වෙළෙඳපොළක් හා මහජනයා මත වැඩි බදු පැනවීමක් හරහා ගෝලීයකරණයට හිතවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවේ නැංවෙන බව සුලබ වටහාගැනීමයි. ඊට ප්‍රතිවිරුද්ධව ශ්‍රීනිපය / පොහොට්ටු ආණ්ඩු ජනප්‍රිය සුබසාධන ආකෘතියක් හරහා වඩා ජාතිකවාදී හෝ ප්‍රාචීනවාදී හෙවත් ආසියානු ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවන බවට ප්‍රකටය. ගෝඨාභය ආණ්ඩුව පත් වූ විගස රාජ්‍ය බදු ආදායම අඩු කිරීම වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස ජනප්‍රියව පැවසේ. වාමාංශික ලේබලයක් යටතේ ඉදිරිපත් වන ජවිපෙ සැලකුව ද ශ්‍රීලනිප මොඩලයට ආසන්න රාජ්‍ය කේන්ද්‍රීය සිවිල් ආර්ථික ස්වාධිපත්‍යයක් වෙනුවෙන් පෙනී සිටිනා ව්‍යාපෘතියක් යෝජනා කරති. ඔවුන්ගේ ද ජනප්‍රිය සටන්පාඨය ‘දූෂණ විරෝධය’යි.


සුබසාධනය වෙනුවට ණය සාධනය

ආර්ථිකය සාකච්ඡා කරන්න උත්සාහයකදී පිරිසකට එය වෙළඳ ප්‍රචාරණය වැනි කටයුත්තකි. තවත් අයෙකුට එය විගණනය පිළිබඳව ගැටළුවකි. තවත් අයෙකුට එය කලමනාකරණ ක්‍රියාවලියකි. තවත් අයෙකුට එය බදු ක්‍රියාවලියකි. දේශපාලන ආර්ථිකය මෙවැනි පටු මාතෘකා වෙත ඌණනය වෙනුවට අසීරු සමස්ත චිත්‍රය හා නිෂ්පාදන ක්‍රියාවලිය මූලයන් ලෙස සලකමින් ලංකාවේ ආර්ථික අර්බුදය විමසමු. 


70 දශකයේ අග ජේ. ආර් ජයවර්ධනගේ ආණ්ඩුව විසින් සරළව සිදුකලේ ලංකාවේ පිරිවැය අඩු නුපුහුණු ශ්‍රමය සදහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කිරීමයි. මේ හරහා එක් අතකින් නිදහස් වෙළඳ කලාප බිහි වූ අතර අනෙක් පසින් මැදපෙරදිග මූලික නුපුහුණු නිර්බාධී විදෙස් ශ්‍රම වෙළෙඳපොළක් ඇතිවිය. ජේ ආර් විසින් ලංකාවට යටත්විජිත වැවිළි ආර්ථිකය වෙනුවට නුපුහුණු සේවා ආර්ථිකයක් හදුන්වා දුන්නේය. මේ හරහා ලාංකිකයන්ගේ ආර්ථික ජීවිතය පමණක් නොව සමස්ත සංස්කෘතික තලයම ප්‍රතිව්‍යුහගත විය. ඉන්පසු පැමිණි කිසිදු ආණ්ඩුවකට මේ දක්වා ජයවර්ධන ප්‍රතිපත්ති වක්‍රව හෝ පවත්වාගෙන යාම හැර විකල්පයක් නොවීය. ගෝලීය හා කලාපීය දේශපාලන ආර්ථිකයේ වන වෙනස්කම් යුද පසුබිම නිසා දශක තුනක් පමණ ලංකාවට අදාල නොවීය. නමුත් යුද්ධය අවසන් වනවිට නැවත දේපළ වෙළදාමත් චීනය මූලික ඉදිකිරීම් හරහාත් නව ආර්ථික බුබුළක් ලංකාවේ නිර්මාණය වෙමින් පවතී. මේ තත්ත්වය ලංකාවේ සාමාන්‍ය දෛනික ආර්ථිකයට හෝ ජාතික නිෂ්පාදනයට කිසිදු සැලකියයුතු දායකත්වයක් නොදක්වයි. නමුත් දෘෂ්ටිවාදයක් ලෙස ලංකාවේ ඊනියා මහජනයාට ‘සංවර්ධනය’ නම් සංකල්පය ඒත්තු ගන්වා තිබුනේ ගොඩනැගිලි සමුදායක් මතය. දශක ගණනාවක් සංවර්ධන සිහිනයේ රූපිකය වූයේ අහස උසට වූ ගොඩනැගිලිය. ඒ මායාව දැන් කොළඹ නගර සීමාවේ සැබෑවක් වී ඇත. සංකේතීයව සලකතොත් ගෝටා ගෝ ගම ඉදි වී ඇත්තේ එවැනි ගොඩනැගිලි සමුදායක් මැද වීම ද උත්‍ප්‍රාසජනකය.


නමුත් එම බහුජාතික සමාගම් ලංකාවේ ආර්ථිකයට දක්වන සම්බන්ධය කෙවැනිද? ඔවුන්ගේ භූ දේශපාලනික හා කලාපීය ආර්ථික උනන්දූන් මොනවාද? දළජාතික නිෂ්පාදනයට මේවායේ ඇති සම්බන්ධය කොපමණද?’ කියා අදහසක් බහුතරයකට නොමැත. ආයෝජන ප්‍රවර්ධන කලාප හා රෙගුලාසි හරහා බදු නිදහස්ව පැමිණෙන ජාත්‍යන්තර ආයෝජන මගින් ලංකාවේ බහුතර ශ්‍රමිකයන්ට අත්වන ඉරණම කුමක්ද? ඔවුන් සම්බන්ධයෙන් රෙගුලාසි සංශෝධනයෙන් ‘අවිධිමත් ශ්‍රමය’ නිළ ආකෘතියක් බවට පත්කරමින් දේශීය සේවා ආර්ථිකය පූර්ණ ලෙස අවවර්ධිත තරගකාරී වෙළෙඳපොළකට යොමුකරවන අතර ශ්‍රමිකයා යනු මනුෂ්‍යයකු නොවනා වස්තුවක් බවට පත්කර ඇත. කටුනායක වෙළඳ කලාපය මූලිකව පමණක් මේ අමානුෂික ශ්‍රම සූරාකෑම පරීක්ෂා කල ද අයෙකුට ඕනාවටත් වඩා තොරතුරු ලබාගත හැක. අප්‍රේල් නැගිටීම් තුළ මේ සංකීර්ණ සමාජ දේශපාලන ආර්ථික ගැටළු පිළිබඳව කිසිදු ඇමතීමක් තවමත් පෙනෙන්නට නැත. ඒ තුළ අධිපති වන්නේ ‘පංතිය’ වෙනුවට ‘මහජනයා’ නම් සංකල්පයයි. එවිට සමාගම් හිමිකරුවන් යනු ද මහජනයායි. ඉහත විග්‍රහය අනුව ලංකාවේ මාස්, ජෝන් කීල්ස්, සොෆ්ට් ලොජික්, ඩයලොග්, ජෙට්වින් වැනි සමාගම් පවා ගෝටා ගෝ ගමට එක් වීමෙන්ම මේ නැගිටීම් පිළිබඳව දේශපාලන ආර්ථික අර්ථයකින් පවතින ලාමක බව හා මධ්‍යම පංතික පදනම අයෙකුට පහසුවෙන් තේරුම් යා යුතුය. ලංකාවේ අශ්ලීල දේශපාලන ආර්ථිකයේ පෙරගමන්කරුවන් ද ‘අරගලකරුවන්’ ලෙස වෙස් මාරුකොට ඇත.


පසුගිය දශක කිහිපය සැලකූවිට ආණ්ඩු විසින් සිදුකලේ සාර්ව ආර්ථිකය චීන හා ඇමරිකානු කලාපීය භූ දේශපාලනික සාධක මත සුවිසල් ණය ආර්ථිකයකට යැවීමත් ධනවාදයේ අවම ආර්ථික සදාචාරය වන සුබසාධන ආකෘතිය පූර්ණ අකර්මණ්‍ය තත්ත්වයකට යැවීමේ දෘෂ්ටිවාදය ශක්තිමත් කිරීමත්ය. යටිතල පහසුකම් සිට කම්කරු නීති සංශෝධන දක්වා ආර්ථික සැලසුම් හා යෝජනා එන්නේ මේ ණය සැපයුම් ආයතන හෝ රටවල් සමගය. ඒ හරහා ක්‍රමයෙන් රාජ්‍ය කේන්ද්‍රීයව තුබූ සෞඛ්‍ය අංශය බරපතළ ලෙස තරගකාරී වෙළෙඳපොළ මත ලාබය මූලික අංශයක් බවට පත්කොට ඇත. ධනවාදයේ පරිවාරයේ රටක් ලෙස පොදු ප්‍රවාහනය මෙන්ම අධ්‍යාපනය ද වානිජකරණයට හසු වී බරපතළ ප්‍රමිති අර්බුදයකට පත්ව ඇත. ධනවාදය නිරන්තරයෙන් ප්‍රාසාරණය වන්නේ එතුවක් ලාබ ලැබීමේ යාන්ත්‍රණයට අයත් නොවූ ක්ෂේත්‍රයක් ලාබ යාන්ත්‍රණයට ඇතුළත් කරගැනීමෙනි.  විසිවන සියවස මැද මෙසේ තරගකාරී වෙළෙඳපොළට එක් කරගත් ක්ෂේත්‍රය වූයේ සංස්කෘතියයි. පශ්චාත් නූතන තත්ත්වය ලෙස චින්තකයන් නම් කලේ සංස්කෘතිය වෙළඳභාණ්ඩයක් ලෙස තරගකාරී වෙළෙඳපොළට ඉදිරිපත් වීමයි. ඉන්පසු සෞඛ්‍ය ද දැන් අධ්‍යාපනය ද සුබසාධන ආකෘතියෙන් ඉවත් කර තරගකාරී වෙළෙඳපොළ කරා යොමු කරමින් තිබේ. ණය ලබාදීමේ ආර්ථික ප්‍රතිසංස්කරණය යනු එවාය. සයිටම් හෝ කොතලාවල සටන් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය අරගල කලේ මේ ගෝලීය නව ලිබරල් ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනයන්ට එරෙහිවය.

මාස් හෝල්ඩින් අරගල 

සාර්ව ආර්ථිකය දිගුකාලීන හා කෙටිකාලීන ණය මත පැවත්වෙන ආර්ථිකය යනු ලංකාවේ ඊනියා ආර්ථික ප්‍රතිපත්තියයි. මීට කියනා නම්බුකාර යෙදුම ‘ණය කළමනාකරණය’යි. එනම් එක් ණයක් අරං තව ණයක් ගෙවීමයි. නිදහසෙන් පසු ක්‍රමිකව ලංකාවේ ආර්ථිකය යනු ණය ආර්ථිකයකි. අනූව දශකයේ සෝවියට් දේශය අවසන් වනතුරු බලකඳවුරු වූ ඇමරිකානු හා සෝවියට් පිල් ණය හෝ ආධාර මත ක්‍රියාත්මක කෙරුනු අතර පසුව යූරෝ මූලික බටහිර සුබසාධන ආර්ථිකය ලංකාවට හදුන්වාදුන්නේ සෝවියට් දේශය බිඳ වැටීමේ සලකුණු සමගය. එතැන් පටන් ලංකාවේ ගැලවුම්කරු වූයේ නව ලෝක ව්‍යාපාර වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි. එම්. එෆ්) හෝ ලෝක බැංකුවයි. නමුත් සහශ්‍රකය වන විට චීනය ද කරළියට පැමිණි අතර විකල්ප දෙක ලෙස අයි. එම්. එෆ් හෝ චීනය ඉදිරිපත් විය. මේ දෙකෙන් කෝක තෝරාගත්තත් ලංකාවේ සේවා මූලික ව්‍යාකූල, අවවර්ධිත දේශපාලන ආර්ථිකය සංවර්ධනයට ප්‍රතිපත්ති සැකසීම උභතෝකෝටික ගැටළුවකි. ජවිපෙ බලයට පැමිණිය ද බොහෝවිට චීනය තෝරාගැනීමට ඇති ඉඩ වැඩිය. එජාපය මෙතුවක් වඩා අයි. එම්. එෆ් ට පක්ෂ අතර පොහොට්ටුව චීනයට පක්ෂව කටයුතු කරයි. මෙහි ඉදිරි බරපතළ ප්‍රතිඵල ලෙස එක්කෝ ඇමරිකානු ආර්ථික කොරිඩෝව හෝ චීන ‘එක් පටි – එක් මාවත’ හෙවත් ‘වන් බෙල්ට් වන් රෝඩ්’ ව්‍යාපෘතිය තෝරාගැනීමට ලංකාවට සිදුවනු ඇත. ඒවායින් ලංකාවේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බිහිවීමක් හෝ අවම වශයෙන් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම වෙනුවට දේශීය වානිජ බුර්ෂුවා පංතිය ද අභියෝගයට ලක් වී වඩ වඩාත් ආක්‍රමශීලී ණය මත අගාධයකට යවනා ආර්ථික මොඩල යෝජනා වනු ඇත. ඊට අමතරව අවිධිමත් ශ්‍රමය සූරාකෑමට කෙටුම්පත් සංශෝධනය කරවනා අතර බරපතළ විරැකියා හෝ අවිනිශ්චිත බවක් දිගුකාලීනව ඇතිවනු ඇත. දැනටත් කොළඹ නගරයේ අධිපති ඉදිකිරීම් ක්ෂේත්‍රය හෝ ආකිටෙක්චර් සැලකුවත් ඒවා සිදුවන්නේ බහුජාතික සමාගම් මගිනි. ලංකාවේ පහළ සමාජ ස්ථරයේ සේවා ආර්ථිකය එක් පසෙකින් අවිධිමත් ශ්‍රම නියාමන රෙගුලාසි හරහා අස්ථාවර කෙරෙනා අතර සමපේක්ෂිතව ඉහළ ඉඩම් වටිනාකම් ඇති කිරීමෙන් වැවිළි ආර්ථිකය බරපතළ අභියෝගයන්ට ලක්වීමේ අවදානමක් ද පවතී. 

රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර සාමාජිකයින් චීන හා ඇමරිකානු ලෙස බෙදීමේ ප්‍රතිඵල ලෙස භූ දේශපාලන උනන්දූන් බහුගුණ වීම හරහා පසුගිය වසර දෙකක ඉන්දු – එක්සත් ජනපද හා චීන පිල් අතර විවෘත බල අරගලයක් විද්‍යමාන විය. දේශීය බල ව්‍යුහ වූ බැසිල් පිළ ඇමරිකානු ලෙසත් මහින්ද පිළ චීන ලෙසත් දැනට වෙන් වී ඇති අතර ගෝඨාභය නිෂ්ක්‍රීය ඇමරිකානු තුරුම්පුවකි. වරාය පර්‍යන්තය ඉන්දියාවට ලබා දීමේ උත්සාහයෙන් ආරම්භ වී උග්‍ර වූ ආණ්ඩු අභ්‍යන්තර බල අරගලයෙන් පසු චීනය ලංකාවට ණය ලබාදීමෙන් ඉවත් විය. එහි ප්‍රතිඵල ලෙස 2021 සැප්තැම්බර් සිට කහ, කිරිපිටි, රසායනික පොහොර, ඉන්ධන, ඖෂධ ආදී ලෙස ක්‍රමයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයක් කරා ආර්ථික අර්බුදය වර්ධනය වූ අතර අයි. එම්. එෆ් ආයතනය ද සිය ඉන්දු – එක්සත්ජනපද භූ දේශපාලන යොමුවීම් සදහා සුපුරුදු ලෙස මාන බලමින් සිටී. එනිසා ශක්තිමත් නොවූ ලංකාවේ දේශීය වානිජ ධනපති සමගම් ද අභියෝගයට ලක් විය. එනිසා ඔවුන් ද ගෝටා ගෝ ගමට සහය පලකරමින් සිටී.

එසේම ධනවාදයේ නවතම ව්‍යුහයක් ලෙස ආපදා ධනවාදය ද ලංකාවේ ක්‍රියාත්මකය. ‘අයියා සුනාමි,මල්ලි කොරෝනා’ ලෙස සටන්පාඨගත වූයේ මේ තත්ත්වයයි. ආපදා අවස්ථා උදෙසා ලැබෙනා ජාත්‍යන්තර ආධාර මිලියන ගණනින් හොරකම් කිරීමේ චෝදනා පවතී. අවසන් වශයෙන් සති කිහිපයකට පෙර අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ලබා දුන් ණය යකඩ මිලදී ගැනීම සදහා භාවිතයට ද චෝදනා ඇත. විශේෂයෙන් රාජපක්ෂ රෙජීමය වැනි ශක්තිමත් දේශපාලන අධිකාරීත්ව විසින් ඉතා පහසුවෙන් ආපදා ධනවාදය පවත්වාගෙන පැමිණ ඇත. ණය සපයන්නන් මේ බව දැනගත්ත ද ඔවුන්ගේ භූ දේශපාලනික උනන්දු ක්‍රියාවේ යොදවන්නේ මෙවැනි නොනිල අල්ලස් හරහාය. මේ තත්ත්ව යටතේ බොහෝවිට මහින්ද රාජපක්ෂ පිළ නැවත බලය තහවුරු කරගතහොත් චීනය නැවත ණය කන්දක් හරහා සහය දෙන බවට ඉගි පසුගිය සති කිහිපයේ පළකර ඇත. ප්‍රබල චීන නියෝජිතයන් සෘජුවම මහින්ද සමග සම්බන්ධයක් පවත්වාගනිමින් සිටී. මහින්ද පිළේ පරාජයක් යනු බොහෝවිට එය නැවත අයි. එම්. එෆ් සදහා පාර කැපීමකි. ඒ දැනට පවතින විකල්ප ආර්ථික පාරවල් දෙකයි. ලංකාවේ ආර්ථික ක්ෂිතිජය තීරණය වන්නේ මේ ණය සපයන සැපයුම් කරුවන් දෙදෙනා මතය. 

අයි. එම්. එෆ් හෝ චීන ණය පිළිබඳව ගෝල්ෆේස් නැගිටීම් සදහා මූලික වන දේශපාලන පාර්ශව අතර පවා ඇත්තේ පරස්පර අදහස්‍ ය. බොහෝදෙනාගේ සරළ තර්කය වන්නේ “ඉතින් මේ ණය ගන්නව ඇරෙන්න කෙටිකාලීන විසදුම මොකක්ද?” යන්නයි. ණය යනු ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ස්වභාවික,සාමාන්‍යකරණය වූ සාධකයක් වී ඇත. කෙටිකාලීන විසඳුම් ජපකරනා බොහෝදෙනා දිගුකාලීන සිතීම් අතැර දමා ඇත. ලංකාව ඊනියා නිදහසින් පසු මේ දක්වාම සිතුවේ කෙටිකාලීනවය. දිගුකාලීනව සිතූ එකම දේශපාලඥයා ජයවර්ධන පමණි. ඔහු සිරිමාවෝ හරහා ස්ථාපනය වූ සුබසාධන ආකෘතිය නොනිල ලෙස දියකර හැරීමට අවශ්‍ය දේශපාලන ආර්ථික පදනම වූ නිර්බාධීකරණය ක්‍රියාවේ යෙදවීය. ඉන්පසු සුබසාධනය අර්ථ නැංවුනේ ‘නොමිලේ සේවා ලබාදීමක් ලෙසිනි. මිනිසුන්ගේ බදු ගෙවීම් යනු සුබසාධනය බව ශක්තිමත් පරිභෝජනවාදී දෘෂ්ටිවාද හරහා මකා දැමීය. එ හරහා පහළ පංතීන් වෙනුවෙන් අවම වශයෙන් අත්‍යවශ්‍ය සේවා වූ ප්‍රවාහනය, සෞඛ්‍ය , අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ක්‍රමිකව තරගකාරී වෙළෙඳපොළට ඇද දැමීය. සාධාරණත්වය යනු තරගකාරී වෙළඳාමට ඇති මගක් ලෙස අර්ථනැංවීය. සමාජ සාධාරණත්වයේ මිනුම් ඒකකය නිෂ්පාදනයෙන් වෙළෙඳපොළට මාරු විය. දැන් ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සියල්ල යනු පරිභෝජන හැකියාව මත අත්පත් කරගතයුතු සේවාවකි. මොවුන් දැන් ආර්ථික අයිතීන් කියන්නේ පරිභෝජන හැකියාවේ අයිතියටයි. බණ්ඩාරනායක පංතිය වෙනුවට ජාතිය ද ජයවර්ධන ජාතිය වෙනුවට පරිභෝජනය ද ලෙස දෘෂ්ටිවාද විතැන් කළෝය. රනිල් වික්‍රමසිංහව ආර්ථික ප්‍රාඥයෙක්  ලෙස සලකන මධ්‍යම පංතික බුර්ෂුවා තීරුව පැටලී ඇති දෘෂ්ටිවාදය යනුම මේ ඊනියා ණය කලමනාකරණයයි. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ණය ප්‍රාග්ධනයේ වැඩි ආර්ථික වාසිය බුර්ෂුවා තීරුවට ලබාදීමයි. අනතුරුව වැඩි කොමිස් පංගුව සිය සගයන් අතර බෙදාගැනීමයි. මහබැංකු බැදුම්කර සිදුවීමට වඩා යමක් රනිල්ගෙන් බලාපොරොත්තු වීම යනුම විහිළුවකි. ඒ හැර මේ ප්‍රභූ පාලකයින් කිසිවෙකුත් ධනේශ්වර අර්ථයෙන් හෝ ලංකාවේ නිෂ්පාදනය ඉහළ නැංවීමට ප්‍රතිපත්ති සම්පාදනය කොට නැත. 


යුද්ධය අවසන් වීමත් සමග ජයවර්ධනගේ දේශපාලන ආර්ථික ආකෘතිය පරිවර්තනය කිරීමට බාරගෙන ඇත්තේ ලාංකිකයන් වෙනුවට අයි. එම්. එෆ් හෝ චීනයයි. අයි. එම්. එෆ් හෝ චීනය හැර වෙනත් විකල්පයක් සදහා ලංකාවේ දේශපාලන චින්තනය විවෘත වන තුරු අවම වශයෙන් ඊනියා නව ලිබරල් වානිජ ආර්ථික ස්වාධිපත්‍යයක් හෝ ලංකාවට අත්පත් නොවනු ඇත. දේශීය සුළු ධනේශ්වර ධනපතියන් ද මේ නව තත්ත්වය හරහා අභියෝගයට ලක්වනු ඇත. ඔවුන්ට ඇති විකල්පය වනු ඇත්තේ පවුල් පිටින් විදෙස් රටකට සංක්‍රමණය වීමයි. දැනට ද එය සිදුවෙමින් පවතී. ජවිපෙ නැවත ආමන්ත්‍රණය කරමින් පොරොන්දු වන්නේ මේ වානිජ ධනවාදය ස්ථාවර කිරීමටයි. නැතහොත් රාජ්‍ය කේන්ද්‍රීය නව ලිබරල් ධනවාදයකටයි. එනිසා ප්‍රායෝගිකව දැනට ජවිපෙ වුව ද වඩාත් ගැලපෙන්නේ චීන ණය සමගයි. සංචාරක, ඇගලුම්, ඉදිකිරීම් ආදී ආර්ථික ක්ෂේත්‍ර උදෙසා බාධා නොවනා පරිදි උද්ඝෝෂණ පවත්වන්න ආර්ථික සදාචාරයක් පොරොන්දු වන ගෝල්ෆේස් උද්ඝෝෂකයන් දැනගත යුත්තේ දියවන්නාවෙන් පිටත නිර්පාක්ෂික දේශපාලනය දියකරවන සැබෑ සතුරා ඉන්නේ දියවන්නාවේ නොව, සංකේතීයව ගෝටා ගෝ ගම වටා බවයි. ඇතැම්විට තරුණයෙක් පසුගියදා ෂැන්ග්‍රිලා – බණ්ඩාරනායක පිළිමයේ ඇස් බැන්දේ ඇස් ඇර වටේ බලන්නට ඇති අලසකම නිසා ද විය හැක.

– බූපති නලින් වික්‍රමගේ –

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *