Latestදේශීය

අගමැති ජාතිය අමතා කළ කතාවට ජාතික ජන බලවේගය ප්‍රතිචාර දක්වයි

ජනතාව මුහුණපාන දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට අසමත් වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ පසුගිය 16වනදා කතාව, රාජපක්‍ෂවරුන්ගේ පාලනය බේරා ගැනීමට ජනතාවගේ අරගලය පාවා දෙමින් ඔහු කළ සදාචාර විරෝධී ක්‍රියාව වසා ගැනීමට ගත් නිසරු උත්සාහයක් බව අවධාරණය කරමින් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ,

“ජනමාධ්‍ය නිවේදනය

2022 මැයි 16 වැනි දින ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ රටට මුහුණදීමට සිදුවන ගැටලු කිහිපයක් ගෙනහැර දැක්වීය. උග්‍ර බලශක්ති අර්බුදයක්, සිඳී ගිය විදේශ සංචිත, දැවැන්ත අයවැය හිඟය සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ඊට ඇතුළත් වේ. මේවාට විසඳුම් ලෙස, ජාත්‍යන්තර ප්‍රජාවෙන් මුදල් ලබා ගැනීමට, ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට සහ මුදල් මුද්‍රණය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව ඔහු පැවසීය. මෙම වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳවද ඉඟි පළ කළේය.

අගමැතිවරයා ගෙනහැර දැක්වූ සියලු ගැටලු, අලුත් දේවල් නොව විවිධ දේශපාලන පක්ෂ සහ ආර්ථික විද්‍යාඥයන් මාස කිහිපයක් තිස්සේ කතා කරමින් සිටින ලද ඒවාය. මැයි සහ ජූනි මාස රටට තීරණාත්මක වනු ඇති බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා නැවත නැවතත් ආණ්ඩුවට අනතුරු ඇඟවූ අතර අර්බුදය මඟහරවා ගැනීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. අගමැතිවරයා විසින් යෝජනා කරන ලද විසඳුම් පසුගිය ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ගවලින් කැපී පෙනෙන ලෙස වන්නේද නැත.

කෙසේ වෙතත්, වඩා වැදගත් වන්නේ අගමැතිවරයා සිය කතාවේදී නොකියූ දෙයයි. උදාහරණයක් වශයෙන්, ජනතාව වෙනුවෙන් යෝජනා කරන සහන ක්‍රියාමාර්ග මොනවාද? සාර්ව-ආර්ථික ගැටලු තරමටම ජනගහනයෙන් විශාල කොටසක් මුහුණ දෙමින් සිටින දරුණු ජීවන අභියෝගද බරපතල ගැටලුය. අපගේ ඉතිහාසයේ පළමු වතාවට ආහාර සුරක්ෂිතතාවය අර්බුදයට ගොසින්ය. පවුල්වල ආහාර වේල් අඩු වී ඇත. ආහාර පරිභෝජනය අඩු වී ඇත. මේ හුදෙක් දැනටමත් දරිද්‍රතා රේඛාවට පහළින් සිටින අය නොවේ. සංඛ්‍යාවෙන් විශාල ලෙස වැඩි, මීට පෙර දරිද්‍රතා රේඛාවට මදක් ඉහළින් සිටි ජන සංඛ්‍යාවක්ද මේ තත්වයට අද වැටී ඇත. ශ්‍රී ලංකාවේ පුළුල් වෙමින් තිබූ මධ්‍යම පංතිය මේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි. ආදායම් පහත වැටීම, ජීවනෝපායන් අහිමි වීම, ණයගැතිභාවය සහ තිරසාර නොවන ජීවන රටාවන් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අර්බුදයට යවා ඇත. එමෙන්ම, ගොවි ජනතාවට පොහොර ලබා දෙන බවට යථාර්ථවාදී වැඩපිළිවෙළක් පෙනෙන්නට නැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අතිශය වැදගත් යල කන්නයද අසාර්ථක වනු ඇත.

සැලකිය යුතු කරුණක් නම්, අගමැතිවරයා පසුගිය මාස කිහිපය තුළ ජනතා විරෝධතාවයේ ප්‍රධාන දේශපාලන ගැටලු ගැන කතා කිරීමෙන් වැළකී සිටීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සහ ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ජනතාවගෙන් ඉදිරිපත් වන දැඩි ඉල්ලීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? පවතින පාර්ලිමේන්තුවේ වලංගු කාලය පුරාවට බලයේ සිටීමට මේ ආණ්ඩුව සැලසුම් කරන්න්නේද? වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටුවීමට ඒකපාර්ශ්විකව එකඟ වීමට පෙර, මැතිවරණ කාල නියමයක් සහිත අන්තර් පාලනයක් සඳහා ආගමික නායකයෝ, වෘත්තීය ආයතන සහ සිවිල් සංවිධාන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටියහ. අගමැති වික්‍රමසිංහ මෙම තීරණාත්මක කාරණය ගැන සඳහනක්වත් කළේ නැත. එසේම මැයි 09 වැනිදා විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය, එම ප්‍රහාරය අවුළුවාලීමට සහ ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන් විමර්ශනය කර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියා නොකිරීම සහ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මර්දනය ගැන වචනයක්වත් කීවේ නැත. දැනට ක්‍රියාත්මක වන හදිසි නීති රෙගුලාසි සහ මහජන ආරක්ෂාවේ නාමයෙන් ක්‍රියාවට නංවා ඇති කුරිරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන කිසිදු සඳහනක් නොකළේය.

2018 දී රනිල් වික්‍රමසිංහ 05 වැනි වරට අගමැති ලෙස කටයුතු කරන විට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසියේම මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කළේ රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිව තිබියෙදී බව මේ මොහොතේ සිහිපත් කළ යුතුය. මෙය එකල ‘ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වූ අතර, මෙම ව්‍යවස්ථා විරෝධී පියවරට එරෙහිව මුළු රටම එකාවන්ව විරෝධය පළ කළහ. දින 52කට පසු වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත්කිරීමට තුඩු දුන් සුවිශේෂී තීන්දුවක් ලබා දුන් අධිකරණය කෙරෙහි එකල ජනතාවගේ මනෝභාවය බරපතළ බලපෑමක් ඇති කළේය. එහෙත්, පසුගිය මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වී ජාතික ලැයිස්තුවෙන් ලැබුණ එකම එක පාර්ලිමේන්තු ආසනයක් පමණක් ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට අද රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇත! තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකිනවා යැයි සෑම විටම කියා සිටින අයෙකු ලෙස ඔහු මෙය සාධාරණීකරණය කරන්නේ කෙසේද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස සිටියදී සදාචාර විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමේදී පැවති සාකච්ඡා සන්දර්භය තුළම දැන් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කිරීමේ සදාචාර විරෝධී ස්වභාවයද තේරුම් ගත යුතුය. රනිල් වික්‍රමසිංහගේ මෙම පත්වීම සිදු වන විට සියලු විරුද්ධ පක්ෂ අන්තර්වාර පාලනයකට එකඟ වී තිබුණු අතර ජා.ජ.බ., ස.ජ.බ. සහ ටී.එන්.ඒ. යන පක්ෂද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි බල කර තිබිණි. ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය යෝජනා වී තිබිණි. මෙම සියලු මුලපිරීම්, අරගලයේ ඉල්ලීම් මෙන්ම ආගමික කණ්ඩායම්, වෘත්තීය ආයතන සහ සිවිල් සමාජයේ ඉල්ලීමවලට අනුකූළ විය. විශේෂයෙන්ම මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කරන ලදුව, විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මෙම ඉල්ලීම්වලට එකඟ වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි පීඩනයක් එල්ල වූ බවට සැකයක් නැත. රනිල් වික්‍රමසිංහ ඒකපාර්ශ්විකව සහ කොන්දේසි විරහිතව අගමැති ධූරය භාර ගැනීමට එකඟ වූයේ මේ තත්වය තුළය. එය මාසයකට වැඩි කලක් ගෝල්ෆේස් පිටියේ හා රට පුරා පැවති ජනතා උද්ඝෝෂණයේ ප්‍රධාන ඉල්ලීම් පාවාදීමක් විය. වෙනත් වචනවලින් කිවහොත්, රනිල් වික්‍රමසිංහ අතීතයේ කළාක් මෙන් රාජපක්ෂ පවුල බේරා ගැනීමට යළි ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහගේ මෙම ඉදිරිපත් වීම රාජපක්ෂ පවුලට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති හොඳම විසඳුම බවට සැකයක් නැත.

ආර්ථික අර්බුදය සහ දේශපාලන ස්ථාවරත්වයක ඉක්මන් අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහගේ මෙම තීරණයට හේතු ලෙස හුවා දක්වනු අසන්නට දකින්නට ඇත. ඔහුගේ ‘ජාත්‍යන්තර සම්බන්ධතා සහ දිගු පළපුරුද්ද’ අපගේ රට වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමේ සුදුසුකම් ලෙස දක්වා සිටියි. නමුත් රනිල් වික්‍රමසිංහ යනු රට මුහුණ දී සිටින සමස්ත ගැටලුවේම කොටසක් බවත්, ඔහුගේ පෙර අගමැති ධුර 05 තුළ, මෙම අර්බුදයට තුඩු දුන් තත්වයන් නිර්මාණය කිරීමට ඔහු නිසැකවම වගකිව යුතු බවත් අමතක නොකළ යුතුය. ඒ සියල්ලටත් වඩා, අප රට මුහුණ දී සිටින දේශපාලන හා ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස පවතින දූෂණය, දේශපාලන අනුග්‍රහය, වරප්‍රසාද සහ මහජනයා නොසලකා හැරීම යන දේශපාලන සංස්කෘතිය රනිල් වික්‍රමසිංහ විසින් නිරූපණය කරනු ලබයි.

රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ කථාවේදී බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට්ගේ කොකේසියානු හුණු කවය ගැන කතා කිරීම ඇත්තෙන්ම හාස්‍යජනකය. දරුවා තමාගේ නොවුණත් දුෂ්කර අභියෝගයක් භාර ගනිමින් දරුවා රැකබලා ගැනීමට තීරණය කළ මවගේ චරිතයට ඔහු තමන්ව සමාන කර ගත්තේය. නමුත් බි්‍රතාන්‍ය ඉතිහාසඥ රේමන්ඞ් විලියම්ස්ට අනුව, බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ අරමුණ වූයේ අසාමාන්‍ය තත්වයන් තුළ දුෂ්කර තීරණ ගන්නේ කෙසේදැයි සිතීමට අපව පෙළඹවීමයි. එම තීරණ ගැනීමේදී අප සලකා බැලිය යුතු වටිනාකම් මොනවාද? ජනතාව වෙනුවෙන් හොඳම ප්‍රතිඵල ලබා දෙන තීරණ අපි ගන්නේ කෙසේද – එම නාට්‍යයේදී නම් දරුවා වෙනුවෙන් – නීතිය සහ සම්ප්‍රදායෙන් ඔබ්බට ආචාර ධර්ම, සාරධර්ම, සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ගැන සිතීමට බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය අපට බල කරයි. රනිල් වික්‍රමසිංහ තම දේශපාලන ජීවිතය පුරාවටම පෙන්නුම් කර ඇත්තේ ක්‍රියා පටිපාටි සහ සාරධර්ම ඔහුට එතරම් වැදගත් නැති බවයි. නැවත බලයට ඒමේ ඔහුගේ මේ 06 වැනි උත්සාහයේදී ඔහු යළිත් අසමත් වී ඇත්තේ, සුපුරුදු දේශපාලනය වෙනුවට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කැපවුණු දේශපාලනයක් උදා කර ගැනීමට රටේ ජනතාව පෙළගැසී ඇති බව හඳුනාගැනීමට නොහැකිවීමෙනි. රනිල් වික්‍රමසිංහ සිය අවස්ථාවාදී සදාචාර විරෝධී දේශපාලනයෙන් හෑල්ලුවට ලක් කළේ පසුගිය මාස, සති, දින ගණනාවක් තිස්සේ ජනතාව විසින් මෙහෙය වන ලද මෙම වැදගත් හා අත්‍යාවශ්‍ය දේශපාලනික පරිවර්තනයයි.

එබැවින් ජනතාව මුහුණපාන දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට අසමත් වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ කතාව, රාජපක්‍ෂවරුන්ගේ පාලනය බේරා ගැනීමට ජනතාවගේ අරගලය පාවා දෙමින් ඔහු කළ සදාචාර විරෝධී ක්‍රියාව වසා ගැනීමට ගත් නිසරු උත්සාහයක් ලෙස අපි දකිමු.

ජාතික ජන බලවේගය
2022.05.20″

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *