Latestදේශීය

අපි සිටින්නේ ආහාර අර්බුධයක් අභියසයි – මහින්ද අමරවීර

මෙරට කෘෂිකර්මාන්තය බරපතල අභියෝගයනට මුහුණ දී ඇති මොහොතක නැවත කෘෂිකර්ම අමාත්‍යධූරය තමන්ට ලබාදීම විශාල අභියෝගයක් ලෙස සලකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය ධුරයේ වැඩකටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යයට අදහස් පළ කළ අමාත්‍යවරයා –

‘කිසිදු සහල් හිඟයක් හෝ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට මින් පෙර සිටි කෘෂිකර්ම ඇමතිවරු පුනපුනා ප්‍රකාශ කළත් මම එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී පවා මේ වසරේ විශාල ආහාර හිඟයක් එන බව රජයට පෙන්වා දුන්නා. මොකද මම දන්නවා රටේ ඈත ගම්දනව්වල සෑම සති අන්තයකම ගතකරන රටවැසියෙක් වශයෙන් ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළුකාරී ස්වභාවය. රසායනික පොහොර නැතිකම, වල්නාශක සහ කෘමිනාශක නොතිබීම හේතුවෙන් ගොවිතැන් මුළුමනින්ම අඩාල වුණා.

මම අඟුණකොළපැලැස්සේ නිවසට ගිය හැම දිනකම ගොවියෝ ඇවිත් ඔවුන්ගේ දුක්ගැනවිලි මට ඉදිරිපත් කළා. රටේ ඇතිවිය හැකි ආහාර හිඟය මගහරවා ගැනීම සඳහා මම පරිසර ඇමතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කළා වහා රටතුළ වගා සංග්‍රාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට. කාබනික ගොවිතැන වැදගත් සංකල්පයක්. නමුත් කාබනික ගොවිතැන මිනිස්සුන්ට එපා කරවන තැනට කටයුතු කර තිබෙනවා. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක නොමැතිව වගා කළ නොහැකි බව අප පෙන්වා දෙන විට සමහරු මමත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමහර නිලධාරිනුත් රසායනික පොහොර කර්මාන්තකරුවන්ගේ ඒජන්තයින් ලෙස හංවඩු ගැහුවා.

අතිගරු ජනාධිපතිතුමන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ 17 කින් සමන්විත කමිටුවක් පවා පත්කළා. නමුත් එම ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල ලත් තැනම ලොප් කිරීමට සමහරු කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළ අපිට අවශ්‍ය සහල් සහ වෙනත් ආහාර අනිවාර්යයයෙන්ම පිටරටින් ආනයනය කරන්නට සිදුවනවා.

මේ වන විට වැව්, අමුණු, ඇළදොළ පමණක් නොවෙයි කුඹුරුවල ලියදි පවා ජලයෙන් පිරී තිබෙනවා. ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදුන්නා නම් ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ලබාගතහැකි කන්න දෙක ලෙස පසුගිය මහ කන්නයත් මෙම යළ කන්නයත් සැලකිය හැකියි.

මම පළමුවරට කෘෂිකර්ම ඇමතිධුරය භාරගත්තේ 2018 මැයි මාසයේ. දෙවන වරටත් එම ධූරය අවුරුදු 04 කට පසු හරියටම මැයි මාසයේ මට භාරවී තිබෙනවා. මම පළමුවර භාරගන්නා විටත් යළ කන්නයට අවශ්‍ය පොහොර නැතුව ගොවීන් විශාල ගැටළුවකට මුහුණ දී සිටියා. නමුත් මට හැකිවුණා සියළුදෙනාගේ සහයෝගයෙන් එම යළ කන්නය 2018 දී සාර්ථක කරන්න.

මෙවරත් එම කටයුත්ත අද පටන්ම ආරම්භ කිරීමට මම සූදානම්. ගොවියෝ නැවත වරක් කුඹුරට කැඳවන වගාබිම් සරුකළ යුතු, ජනතාව කුසගින්නේ නොතබන වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත් මා කෙරෙහි තැබූ විශ්වාසය සුරකින බව මම ප්‍රකාශ කරනවා.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *