පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ පක්ෂ ගණනාවක් අතර සාකච්ඡා
වත්මන් දේශපාලන අර්බුදයන් සදහා කෙටි කාලීන සහ මධ්‍යකාලීන විසදුම් ලබා ගැනීමට වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.
තවද මෙම සාකච්ඡා මූළික කරුණු 03ක් මත පදනම්ව සිදු කරනු ලබන බව පවසන පුබුදු ජයගොඩ මහතා මේ දක්වා සිදුකළ සියලු සාකච්ඡාවන් සාර්ථක වූ බව ද පවසනවා.
මෙම සාකච්ඡා සදහා ඉදිරිපත් වූ මූළික කරුණු 03 වනුයේ
01. වත්මන් ගෝල්ෆේස් අරගලය ප්රමුඛ අරගලකරුවන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටින සමාජ සාධාරණත්වය ප්රමුඛ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග කවරේද
02. මැයි 09 වෙනිදා ගෝල්ෆේස් හී අරගලකරුවන්ට පහර දීම සහ එහි පශ්චාත් සිදුවීම් පාදක කරගනිමින් රට පුරා විසිරී සිටින ජනතාව මර්ධනය කිරීමට ගනු ලබන ආන්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කරමින් ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීම සදහා සාමූහිකව ක්‍රියාමාර්ග කවරේද
03. විධායක ජනාධිපතික්රමටය සංශෝධන වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන නව ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වලින් සමන්විත අළුත් ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් හරහා පොදු සමාජයට වැඩි බලතල හිමිවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම. ඒ සදහා ජනමත විචාරණයක් පවත්වා නව ආන්ඩුක්රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම
යන මාතෘකා බවයි ජයගොඩ මහතා පවසන්නේ.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය 16 වනදා 43වන සේනාංකය සමග සාකච්ඡා කළ අතර ඒ සදහා 43 වන සේනාංකයෙන් චම්පික රණවක, ශිරාන් ලක්තිලක, බන්දුල චන්ද්‍රතිලක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව, සංජීව බන්ඩාර යන මහත්වරුන් සහභාගි වී තිබෙනවා.
17 වනදා එක්සත් සමාජවාදී පක්ෂය සමග පැවති සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින්, පුබුදු ජයගොඩ , චන්ද්‍රසිරි ලන්දගේ සහ එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් සිරිතුංග ජයසූරිය , ශ්‍රී නාත් පෙරේරා , දම්මිකා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබෙනවා.
18 වනදා සමාජවාදී ජනතා සංසදය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර පැවති සාකච්ඡාවට නීල් විජේගුණතිලක, විජේපාල,ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් සමාජවාදී ජනතා සංසදය නියෝජයන කරමින් සහභාගි වී ඇති අතර චමීර කොස්වත්ත මහතා සහ චන්ද්‍රසිරි ලන්දගේ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් සහභාගි වී තිබෙනවා.
එදිනම (18) සවස ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා සහ පුබුදු ජයගොඩ මහතා අය සහභාගි වී ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්. සුමන්දිරන් මහතා සහ රාසමානික්කම් මහතා සහභාගි වී තිබෙනවා.
18 වනදා සවස 6ට සමගි ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර පැවති සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් රංජිත් මද්දුමබන්ඩාර, කබීර් හෂීම්, මුජිබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් සහභාගි වී ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව සහ පුබුදු ජයගොඩ යන මහත්වරුන් සහභාගි වී තිබෙනවා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද (24) කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්රගතිශීලී සන්ධාන කාර්යාලයේදී පැවති අතර, එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ මහතා සහ සංජීව බණ්ඩාර මහතා ද දෙමළ ප්රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූ බව පුබුදු ජයගොඩ මහතා පවසනවා.
අද පැවති සාකච්ඡාවේදී මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්ධනයට හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇති වූ බව පවසන ජයගොඩ මහතා වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අවබෝධයක් නිර්මාණය කර ගන්නා ලද බව ද පවසනවා.
ඉහත සාකච්ඡා මාලාවේ දිගුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සමග ද සාකච්ඡා කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බැවින් ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ජනතා විමුක්ති පෙරමුණෙන් නොලැබුනු බව ද පුබුදු ජයගොඩ මහතා අවධාරනය කරනවා.