ගජමිතුරු ධන කුවේරයන්ට බදු සහන , ජනතාවට බදු පිට බදු – පුබුදු ජයගොඩ
විගණකාධිපති වාර්ථාවලට අනුව 2015 -2019 අතර කාලය තුළ පමණක් රුපියල් කෝටි 41,415ක ගෙවිය යුතු බදු මුදලක් සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා,
2020 වසර තුළ සමාගම් ගෙවිය යුතු බදු රුපියල් කෝටි 10,500 ක් ගෙවීම පැහැර හැරලා තියෙනවා කියලා කෝප් කමිටුව විසින් අනාවරණය කරලා තිබුනා.
2015 – 2020 අතර කාලය තුල පමණක් කෝටි 51,915ක් අයකරගන්න ආන්ඩුව උත්සාහ නොකර ජනතාවට බදු පනවමින් සිටිනවා.
ධම්මික පෙරේරා ගේ බේලීස් පුද්ගලික සමාගම විතරක් රුපියල් මිලියන 575ක් බදු මුදල් ගෙවීම පැහැර හැරලා තියෙනවා.
රවී විජේරත්න මරීනා කලම්බු ග්‍රෑන්ඩ් සමාගම රුපියල් මිලියන 760 ක් ඒ වගේම ස්ටාර් ඩස්ට් ආයතනය රුපියල් මිලියන 760ක් රජයට බදු ගෙවීම් පැහැර හැරලා තියෙනවා.
මේ ඔක්කොම බැලුවම පේනවා සුප්‍රකට ව්‍යාපාරිකයින් කෝටි ගණන් වලින් බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා.
මේ අයට නඩු පවරනවා නඩු පවරනවා කිවුවාට නඩු පවරන්න බැහැ. සාම්ප්‍රදායික නඩු පැවරීම් වලින් මේ බදු මුදල් අයකර ගන්න බැහැ. විශේෂ අධිකරණයක් දාලා නොගෙවූ බදු අය කර ගත යුතුයි. නැතිනම් ඔවුන්ගේ වත්කම් තියෙනවානේ. ඒවා රාජසන්තක කළ යුතුයි.
මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියද්දි මිනිස්සුන්ට බදු ගහනවා බදු ගහනවා කියලා පටි තද කරගන්න කියලා, ගෙවන්න තියෙන බදු ගෙවන්නැතුව ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මේ ගොල්ලෝ මූල්‍ය අපරාධකරුවෝ ඔවුන් සම්බන්ධයෙන් අරන් තියෙන පියවර මොකක්ද?
නෑ. ඒ මොකවත් පියවරක් ගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ යාළුවෝ නේ. අඒ නිසා ඒ්ගොල්ලන්ට විරුද්ධව කිසිදු පියවරක් ගන්නේ නැහැ.
වැට් බද්දෙන් රුපියල් බිලියන 600ක් ඒ කියන්නේ කෝටි 60,000ක් පමණ අහිමි වුනා. 2020 වසර මුලදී වැට් බද්ධ අහෝසි කරන්න ගත්ත තීරණයත් එක්ක කෝටි 60,000ක් අහිමි වුනා. ඒකෙන් කිසිම වාසියක් ආවෙ නෑ රටට.
කූඨ ගජමිතුරු ව්‍යාපාරිකයින් විසින් ඒ බදු මුදල රැස්කරගත්තා.
සීනි බදු වංචාවෙන් කෝටි 1676 ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා විගණකාධිපති වාර්ථාවලට අනුව.
ජනතාවගේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සදහා බදු ගහනවා.
මේක තමයි ඇත්ත තත්ත්වය. ආර්ථික අර්බුධය, අර්බුධය, අර්බුධය කිවුවාට ධන කුවේරයින්ට කිසි අර්බුධයක් නැහැ. මේ ආර්ථික ඝාතකයෝ.
මේ ආර්ථික ඝාතනය කළ ඝාතකයොම ආර්ථික උපායමාර්ග ගැන පම්පෝරි ගහනවා. මේක හරිම විකාරරූපී තත්ත්වයක්. වහාම මේ අයුක්තිසහගත පාලනය පෙරලා දැමිය යුතුයි….. යැයි වැඩිදුරටත් පැවසුවා.