”මිනීමැරුම”
ඊයේ රාත්‍රියේ
දුටිමි මම සිහිනෙන්
වෙඩි තබනු ලැබ
පිරිනිවන් පෑහ බුදු හිමියන්
පොලිසිය නම්
නීතියේ රැකවලුන් විසින්
යාපනය පොත් ගුලේ
තරප්පු පෙළ අසළ
වැටී තිබුනා උන්වහන්සේගේ සිරුර
නැහැවී තිබුනා එය ලෙයින්
ගණඳුරට මුවා වී
අනතුරුව පැමිණියා ඇමැතිවරු
“අපේ ලැයිස්තුවේ – නැතේ මේ නම
ඇයිද නුඹලා මොහු මැරුවේ ?”
විමසුවා ඔවුන් කේන්තියෙන් මෙන්
“නැහැ සර් නැහැ
අත්වැරැද්දක් නොවෙයි මෙය
මොහු නොමැරුවා නම්
මැස්සකුටවත් කරන්නට බැරිය එකදු හානියක්”
“එබැවින්….” ගොත ගැහුවා ඔවුන්
“හරි හරි එහෙනම්
හංගාපියව් මල මිනිය ඉක්මනින් “
ඇමැතිවරු ගියා පිටත් වී ඉන්පසු
සිවිල් ඇඳුමින් සැරසුණු මිනිස්සු
පොත්ගුල තුළට මලමිනිය ඇද ගෙන ගියා
වසා ඒ සිරුර
අනූදාහකට වැඩි සියලු පොත්වලින්
තනා එක් සෑයක්
දල්වනු ලැබුනි ගිනි
සිඟාලෝවාද සූත්‍රය ද එහි තිබුණි.
ඒ මහා කාරුණිකයාණෝ
දවා හළු කරනු ලැබූ සේක
ධම්මපදයත් එක්කම….
(1981 මැයි 31 යාපනය පුස්තකාලයට ගිනි තැබීමෙන් අනතුරුව, මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් ‘මිනීමැරුම’ නමින් දෙමළ බසින් ලියූ කවි පන්තියේ පරිවර්තනයකි.)

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

