Latestදේශීය

වෛද්‍යවරියගෙන් ලක්ෂ 100ක වන්දියක්

අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් මාරක රිය අනතුරක් සිදු කර පොලිස් පරීක්ෂකවරයෙකුගේ මරණය සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් විශේෂ වෛද්‍යවරියකට එම පොලිස් නිලධාරියාගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 100 ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණය (03) නියෝග කර තිබේ.

2018 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා බොරලැස්ගමුවේදී මෙම මාරක රිය අනතුර සිදු කළ බවට විත්තිකාර විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව චෝදනා 06ක් මත නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

මෙම වන්දිය මියගිය පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී පෙරේරා මහතාගේ පවුලේ ඥාතීන්ට ගෙවන ලෙසට නියෝග කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරියට සිය වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සෙසු වාහන දෙකකට ද අලාභහානි සිදු වූ බවත් එම වාහනවල හිමිකරුවන්ට ද රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙසත් ය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අනතුරෙන් මියගිය පොලිස් පරීක්ෂකවරයා හෝ ජාත්‍යන්තර බොක්සිං තීරකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී ඔහුගේ වාහනය තුළ සිය බිරිඳ හා දරුවන් දෙදෙනා ද සිට ඇති බව සඳහන් කළේ ය.

මෙම අනතුරේදී වැඩිමහල් දරුවා තුවාල ලබා මේ වනවිට ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් ඔහු ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි බව ද කියා සිටියේ ය.

මෙම සිද්ධිය හේතුවෙන් ඔහු ආබාධිතයකු බවට පත්වීම නිසා ඔහුට පිහිනුම් තරගවලට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *